Tuesday, September 29, 2026
Follow Us
ග්‍රෙගරි වැව වෙනුවෙන් කමිටුවක් පත් කිරීමට තීරණයක්
ග්‍රෙගරි වැවෙහි හා ඒ අවට ජල පෝෂක ප්‍රදේශයේ ජලයේ ගුණාත්මක තත්ත්වය සහ ඒ අවට පරිසරය තිරසරව පවත්වා ගෙන යාම සඳහා විද්‍යාත්මක පදනමක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදාළ කමිටු පත් කිරිමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
 
ඒ අනුව හඳුනාගත් කරුණු සැලකිල්ලට ගනිමින්, ග්‍රෙගරි වැවෙහි හා ඒ අවට ජල පෝෂක ප්‍රදේශයේ ජලයේ ගුණාත්මක තත්ත්වය සහ ඒ අවට පරිසරය තිරසරව පවත්වාගෙන යාම සඳහා සම්බන්ධීකරණය වූ හා විද්‍යාත්මක පදනමක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුත් අධීක්ෂණ හා කළමනාකරණ කමිටුවක් පත් කිරීමටත්, ග්‍රෙගරි වැව සංරක්ෂණ හා පුනරුත්ථාපන ක්‍රියාකාරී කමිටුව නමින් අදාළ රාජ්‍ය ආයතනවල නියෝජනයන්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීමටත් මෙම තීරණය ගෙන ඇත.
නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාරිසරික වැදගත්කම සැලකිල්ලට‌ ගෙන, 2007-03-05 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් එම වැව සහ අවට ප්‍රදේශය පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එහෙත්, ජල පෝෂක ප්‍රදේශය හා වැව ආශ්‍රිතව පවතින විවිධ ක්‍රියාකාරකම්වල බලපෑම් හේතුවෙන් මේ වන විට වැවෙහි ජල තත්ත්වය සහ පාරිසරික තත්ත්වය සැලකිය යුතු අයුරින් පිරිහී ඇති බව නිරීක්ෂණය වී තිබේ.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලයේ ගුණාත්මක තත්ත්වය පිළිබඳව අධ්‍යයන කිහිපයක් සිදු කර ඇති අතර, සාමාන්‍ය ජලයේ තිබිය යුතු ගුණාත්මක මට්ටම අභිබවා පොස්පේට්, නයිට්‍රජන් සහ ජෛව රසායනික ඔක්සිජන් පවතින බව එම අධ්‍යයනය මඟින් තහවුරු වී ඇත.
දශක ගණනාවක් පුරා අවසාදිත එකතු වීම හේතුවෙන් වැව හා ජල මාර්ගවල රොන් මඩ තැන්පත් වීම, පොහොර හා කෘමිනාශක ඇතුළු කෘෂිකාර්මික අපද්‍රව්‍ය ජල පෝෂක ප්‍රදේශයෙන් වැවට ගලා ඒම සහ නාගරික ක්‍රියාකාරකම් හේතුවෙන් අපජලය හා ඝන අපද්‍රව්‍ය වැවට එක් වීම වැව් ජලයෙහි ගුණාත්මක තත්ත්වය පිරිහීම කෙරෙහි බලපා ඇති ප්‍රධාන සාධක වශයෙන් හඳුනා ගනු ලැබ ඇත.