Sunday, November 22, 2026
Follow Us
අතරමඟ නතර වූ අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී කරුණු අනාවරණය වෙයි

2018–2021 කාල සීමාව තුළ ආරම්භ කර අතරමඟ නතර වූ සංවර්ධන ව්‍යාපෘති 72ක් පිළිබඳ තොරතුරු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2021–2023 මූල්‍ය වර්ෂවලට අදාළ ත්‍රෛ වාර්ෂික වාර්තා, 2024 විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන්  එම කාරක සභාව  පාර්ලිමේන්තුවේදී  පසුගිය දා (19) රැස් වූ අවස්ථාවේදීය.

ඒ අනුව අතරමඟ නතර වූ මෙම ව්‍යාපෘති 72 සඳහා රුපියල් මිලියන 1,664ක මුදලක් වැය කර තිබූ බව මෙහිදී අනාවරණය විය. ඒ අතරින් ව්‍යාපෘති 35ක් මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, ව්‍යාපෘති 13ක වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, තවත් ව්‍යාපෘති 4ක් අත්හිටුවා ඇති බවත්, ව්‍යාපෘති 20ක් කොන්ත්‍රාත්තු සම්බන්ධ ගැටලු හේතුවෙන් නතර වී තිබෙන බවත් නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූහ. කෙසේ වෙතත් එම ගැටලු විසඳා ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා පියවර ගනිමින් පවතින බව ද එම නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

2019 වසරේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ජාතික පාසල් තුනක් බැගින් පිහිටුවීමේ වැඩසටහන යටතේ තෝරා ගත් පාසල්වල භෞතික සංවර්ධනය සහ උපකරණ මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 1,600කට ආසන්න මුදලක් ලබා දී ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, ප්‍රතිපත්තිමය තීරණ මත එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බැවින්, එක් එක් පාසලට ලබා දුන් මුදල් සහ සිදු කළ සංවර්ධන කටයුතු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින්  නිලධාරීන්ට  උපදෙස්  දෙන ලදී.

මේ අතර, අමාත්‍යාංශය ඇණවුම් කළ පරිගණක තොගයක් තාක්ෂණික පිරිවිතරයන්ට අනුකූල නොවීම හේතුවෙන් භාරගෙන නොමැති බවත්, ඒ සඳහා ගෙවීම් සිදු කර නොමැති බවත්, සැපයුම්කරු විසින් අධිකරණයේ නඩු දෙකක් පවරා ඇති බවත් අනාවරණය විය.

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා වූ අතර, ගුරු තොරතුරු සහ සිසුන්ගේ ඇගයීම් දත්ත ඇතුළත් කිරීමට ප්‍රමුඛතාව ලබාදී ඇති බව නිලධාරීහු පැවසූහ. පළාත් කිහිපයක ගුරු ස්ථාන මාරු මෙම පද්ධතිය හරහා ක්‍රියාත්මක වන බව ද, එය දිවයිනේ සියලු පළාත් සහ ජාතික පාසල් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.

තවද, ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝජනයේදී ඇස්තමේන්තු සකස් කිරීමේ ප්‍රමාදයන්, තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය සහ ටෙන්ඩර් ගැටලු හේතුවෙන් බාධා මතුව ඇති බව ද අනාවරණය විය. විගණන විමසුම් සඳහා පිළිතුරු ලබා දීමේ ප්‍රමාදය සම්බන්ධයෙන්ද කරුණු විමසූ කාරක සභාව, ඒවා කඩිනමින් නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා  දෙන ලදී.

මෙම රැස්වීම සඳහා  නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ හා  මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර යන මහත්වරුන් සහ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, හෙක්ටර් අප්පුහාමි, චන්දන සූරියආරච්චි, චානක මාදුගොඩ, රුවන්තිලක ජයකොඩි, ඔෂානි උමංගා, මංජුල සුරවීර ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, වෛද්‍ය ජනක සේනාරත්න, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, නීතිඥ තුෂාරි ජයසිංහ, ටී. කේ. ජයසුන්දර සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.