Tuesday, September 29, 2026
Follow Us
සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය (Monetization) ක්‍රියාත්මක වීමත් සමඟ, දෙමාපියන්ගේ අවසරය ඇතිව හෝ නැතිව දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට එක් කිරීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය  සඳහන් කරයි.
 
දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සහ ඔවුන්ගේ සුරතල් ක්‍රියාකාරකම් අගය කිරීම යන මුවාවෙන් විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් මෙම වීඩියෝ පට වාණිජ අරමුණු උදෙසා යොදාගන්නා බව තහවුරු වී ඇත.
 
මෙලෙස වීඩියෝ සහ Vlog සටහන් හරහා දරුවන්ගේ එදිනෙදා ජීවන රටාව බාහිර පාර්ශ්වයන් වෙත අනාවරණය වීමෙන්, ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්වේ. එමෙන්ම, අන්තර්ජාලයට එක්කරන මෙවැනි වීඩියෝ පට සහ ඡායාරූප මූලාශ්‍ර කරගනිමින්, කෘතිම බුද්ධිය (AI තාක්ෂණය) ඔස්සේ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ අවදානමක් ද මතුව පවති බව එම අමාත්‍යාංශය අවධාරණය කරයි.
 
එබැවින්, මෙවැනි අනතුරුදායක තත්ත්වයන්ගෙන් තම දරුවන් ආරක්ෂා කරගැනීමට සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේ දී වඩාත් විමසිලිමත් සහ වගකීම් සහගත වන මෙන් දෙමව්පියන් ඇතුළු දරුවන්ගේ භාරය සහ ආරක්ෂාව දරන්නන් වෙත එම අමාත්‍යාංශය දන්වා සිටි.