මහජනතාවට වඩාත් කඩිනම්, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් රාජ්‍ය සේවාවක් සහතික කිරීම අරමුණු කරගනිමින් රජය ක්‍රියාත්මක කරන ඩිජිටල් පරිවර්තන වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් දැනට සංවර්ධනය කරමින් පවතින “පළාත් පාලන ආයතන ඩිජිටල්කරණ ජාතික රාමුව” පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
පළාත් පාලන ආයතනයකින් පුරවැසියන්ට ඉටු විය යුතු සමස්ත කාර්යභාරය හඳුනාගෙන, ඉන් ඩිජිටල් පද්ධතියට ඇතුළත් කළ හැකි සහ ඇතුළත් කළ නොහැකි සේවාවන් මොනවාදැයි වෙන්කර හඳුනා ගන්නා ලෙසත්, දැනට පවතින පද්ධතිවලින් එම සියලු සේවාවන් ආවරණය වන්නේදැයි පරීක්ෂා කර බලන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
විවිධ ආයතන මගින් වෙන් වෙන්ව ක්‍රියාත්මක කරන වෙනස් පද්ධති වෙනුවට සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි තනි ජාතික පද්ධතියක් ස්ථාපිත කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයත්, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයත් මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම, දැනට ක්‍රියාත්මක වන පද්ධතිවල පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවාට අවශ්‍ය සංශෝධන සහ වැඩිදියුණු කිරීම් සිදු කරමින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීමේ කටයුතු කාර්යක්ෂමව සම්බන්ධීකරණය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් තිදෙනෙකු යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
පළාත් පාලන ආයතන මගින් මහජනතාවට සපයනු ලබන වරිපනම් ගෙවීම්, මිශ්‍ර ආදායම් (ප්‍රදර්ශන පුවරු ගාස්තු, ක්‍රීඩාංගණ සහ මහජන ශාලා වෙන්කිරීම්), කඩකුලී, ජල බිල්පත් ගෙවීම්, සහ විවිධ අවසර පත්‍ර/බලපත්‍ර ලබා ගැනීම ඇතුළු සේවා මෙන්ම මහජන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් සකස් කර ඇති ඩිජිටල් ක්‍රමවේද පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
විශේෂයෙන් GovPay වැනි පද්ධති මේ තුළින් තවදුරටත් සංවර්ධනය කරගත හැකි ආකාරය පිළිබදවද සාකච්ඡා විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සැපයෙන සේවා 300කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, ග්‍රාම නිලධාරී මට්ටමේ සිට ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටම දක්වා සේවාවන් ජාලගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරිණි.
දැනට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර වී මිලදී ගැනීම සහ දිට්වා ආපදා සහන සැලසීම ආදී කටයුතුවලට අදාළ සාර්ථකත්වය සහ අත්දැකීම් පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණ වැඩසටහන යටතේ පළමුව තෝරාගත් එක් දිස්ත්‍රික්කයක් පාදක කරගනිමින් මොඩියුලයක් ලෙස සියලු පහසුකම් සහිතව මෙම ඩිජිටල්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
එසේම, රාජ්‍ය නිලධාරීන් පත්වීම් ලැබූ දින සිට විශ්‍රාම යාම දක්වා වූ සමස්ත ක්‍රියාවලියම ඩිජිටල්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක "GovHR" ඩිජිටල් පද්ධතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු, අදාළ රේඛීය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.