Sunday, July 06, 2025
Follow Us
ජකර්තා හි දී පැවති 13 වැනි බාලි ප්‍රජාතන්ත්‍රවාදී සංසදයේ දී සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ පුරවැසියන්ගේ සෞඛ්‍ය  සහතික කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධාරණය කරයි

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මැතිතුමා, 13 වැනි බාලි ප්‍රජාතන්ත්‍රවාදී සංසදය (BDF) අමතමින් ශ්‍රී ලංකාවේ සහ කලාපයේ පුරවැසියන්ගේ සෞඛ්‍යය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම අවධාරණය කළේය. “ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම: කොවිඩ්-19 වසංගතය” යන මාතෘකාව යටතේ 2020 දෙසැම්බර් 10 වැනි දින පැවති අමාත්‍යවරුන්ගේ මණ්ඩලයේ දී එතුමා මේ බව පැවසීය. කොවිඩ්-19 වසංගතය වැළැක්වීම හා එලෙස පවත්වාගෙන යාම පිණිස රටවල රාජ්‍ය ප්‍රතිපත්ති බෙදාහදා ගැනීම කෙරෙහි මෙම අමාත්‍යවරුන්ගේ මණ්ඩලය අවධානය යොමු කළේය.

මෙම සංසදය සංවිධානය කිරීම සඳහා ඉන්දුනීසියාව විසින් පියවර ගැනීම පිළිබඳව අගය කරන අතරම, ආසියා පැසිෆික් කලාපය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිණිස සහයෝගයෙන් කටයුතු කිරීමේ පොදු අරමුණ සඳහා තනි තනිව හා සාමූහිකව දායක වීමට කැපවීම පිළිබඳව ඉන්දුනීසියානු රජයට රාජ්‍ය අමාත්‍යවරයා ස්තූතිය පුද කළේය.

කොවිඩ්-19 වසංගතයෙහි ව්‍යාප්තිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව සමබර, බහු ආංශික ප්‍රවේශයක් අනුගමනය කළ බවත්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් කෙරෙහි එහි කැපවීම පවත්වාගත් බවත්, 2020 අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථකව හා සාමකාමීව පැවැත්වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය. රාජ්‍යයක පුරවැසියන්ගේ සෞඛ්‍යය යනු, සියල්ල ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කුළුණක් බව ශ්‍රී ලංකාව විශ්වාස කරයි. එබැවින්, ජාත්‍යන්තර ප්‍රජාව අතර සංවාදයක් හා සහයෝගීතාවයක් ගොඩ නැඟීම සඳහා බාලි ප්‍රජාතන්ත්‍රවාදී සංසදයට සැබෑ අරමුණක් ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා නැවත අවධාරණය කළේය. සිය අත්දැකීම් සහ යහපත් පිළිවෙත් සෙසු ජාතීන් සමඟ බෙදා ගැනීමටත්, මේ සඳහා ඔවුන් සමඟ එක්සත්ව කටයුතු කිරීමටත් ශ්‍රී ලංකාව තවදුරටත් සහයෝගය ලබා දෙන බවට සහතික විය.

බාලි ප්‍රජාතන්ත්‍රවාදී සංසදයෙහි පැවති සාකච්ඡාවල දී, ඉදිරියේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික අවපාතය සහ වර්ධනය වන සැක සංකා පිළිබඳ අභියෝග, අර්බුදයක් තුළ දී විවිධාංගීකරණය වූ අංශ කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය සහ අර්බුදකාරී කාලවල දී ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගෙන යාම සහ එතුළින් සමාජය තුළ ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් හා යුක්තියක් සඳහා දායක වීම පිළිබඳව ද අවධානය යොමු විය.

ආසියා පැසිෆික් කලාපයේ ප්‍රගතිය කරා යන රාජ්‍යතාන්ත්‍රික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා 2008 දී ආරම්භ කරන ලද බාලි ප්‍රජාතන්ත්‍රවාදී සංසදය, දැන් වාර්ෂික ආසියා පැසිෆික් සංසදයක් දක්වා වර්ධනය වී තිබේ. පසුගිය දශකය තුළ දී මෙම සංසදය, අත්දැකීම් බෙදාහදා ගැනීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පහසුකම් සපයන ලද අතර, විවිධත්වය කළමනාකරණය කිරීම, සමානාත්මතාවය, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය දිරි ගැන්වීම සඳහා ද කටයුතු කළේය. මෙම වසරේ බාලි ප්‍රජාතන්ත්‍රවාදී සංසදය, ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මැතිතුමා සහ ඉන්දුනීසියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රෙට්නෝ එල්. පී. මාසුඩි මැතිතුමා විසින් සමාරම්භ කරන ලද අතර, අමාත්‍ය මට්ටමේ මණ්ඩල 10 කින් යුක්තව ලොව වටා රටවල් 33 ක් ඊට සහභාගී විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ