Monday, November 17, 2025
Follow Us
ජනාධිපති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කී දේ

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් කර තිබූ ඉල්ලීමකට අනුව එම සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (17) පෙරවරුවේ පැවැත්විණි.

2022දී කඩා වැටුණු මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත් කර ඇති බවත් එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මූලික අභිප්‍රාය බවත් මෙහිදි සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය ලබා දෙනු ඇතැ’යි බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

පුරවැසියාගේ යහපැවැත්මට සෞඛ්‍ය ක්ෂේත්‍රයක මනා පැවැත්ම අතිශය වැදගත් බවත් එය තම රජයේ මුලික අරමුණක් බවත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට ලැබිය යුතු පහසුකම් කප්පාදු කිරිමට රජය බලාපොරොත්තු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා සහ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදි සලකා බලන බවත් සඳහන් කළේය. ඔබ ඉල්ලන්නා මම ලබාදෙන්නා බවට පත් නොවී සියලු දෙනා එක්ව රට ගොඩ නැගිය යුතුව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වැදගත් මානව සම්පතක් වන වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම බවද, ඒ අනුව ඔවුන්ගේ යෝජනා සහ ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරිම මෙම සාකච්ඡාවේ අරමුණ බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එහිදි සඳහන් කළ අතර, එම යෝජනා සහ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, කම්කරු අමාත්‍ය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුද, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරීහු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.