ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින කැළඹිලි සහගත කාලගුණ තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බැවින්, දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්න මහතා පවසයි.
වත්මන් කාලගුණ තත්ත්වය සහ ඒ හේතුවෙන් ඇති විය හැකි බලපෑම් පිළිබඳව අද (12) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව, හෙට (13) දිනයේදී මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බවත්, අද රාත්‍රියේ සිට ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි ඇතිවීමේ හැකියාව පවතින බවත් ඔහු පැවසීය.
මෙම කාලගුණ තත්ත්වය ඉදිරි දින තුනක පමණ කාලයක් පැවතිය හැකි අතර, එහි බලපෑම හේතුවෙන් දිවයිනේ සහ දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ද වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට සිට ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කරන බව සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙම පද්ධතිය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා නොකරන බවත්, එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඒ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ජනතාව දැනුවත් කරන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
එබැවින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාව ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.