Wednesday, October 07, 2026
Follow Us
පොල් වගාවට සිදුවන හානි සඳහා රක්ෂණ හෝ වන්දි ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර

පොල් වගාවට සිදුවන හානි සඳහා රක්ෂණ ක්‍රමයක් හෝ සුදුසු වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් මේ වන විට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් පවතින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ තෙවැනි රැස්වීම පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදීය.

පොල් වගාවට සිදුවන හානි සඳහා මේ වන විට විධිමත් වගා වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඉදිරියේදී වගාකරුවන්ට සහන සැලසෙන පරිදි රක්ෂණ ක්‍රමයක් හෝ සුදුසු වන්දි ක්‍රමවේදයක් හඳුන්වාදීමේ හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බව පැවසීය.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පොල් වගාවට බලපා ඇති සුදු මැස්සා උවදුර ඇතුළු පොල් වගාව ආශ්‍රිත ගැටලු පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු කරන ලදී.

එමෙන්ම, මලයගම් ප්‍රජාවගේ නිවාස හා අධ්‍යාපන ගැටලු, තේ කර්මාන්තය ආශ්‍රිත ගැටලු සහ කිතුල් කර්මාන්තය ආශ්‍රිත ගැටලු ඇතුළු වැවිලි ක්ෂේත්‍රයට අදාළ කරුණු රැසක් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජනතාවට සෘජුව බලපාන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා වතු ආශ්‍රිත අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වය අනිවාර්ය කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

වතු ආශ්‍රිත ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා ක්ෂේත්‍ර මට්ටමින් කඩිනම් විසඳුම් ලබාදීමට අදාළ සියලු නිලධාරීන්ගේ සක්‍රීය මැදිහත්වීම අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අමාත්‍යාංශ මට්ටමින්ද අවශ්‍ය මැදිහත්වීම් සිදුකර විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

මේ අතර, අමාත්‍යාංශය මගින් මෑතකදී ආරම්භ කළ “තැඹිලි ගම්මාන 250” වැඩසටහන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. එම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් හැකි සෑම ප්‍රදේශයකටම ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල සභාපතිවරුන් ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.