ලංකාවේ ක්ෂය රෝගීන් සඳහා අඛණ්ඩව ඖෂධ සැපයීම වෙනුවෙන් ඉන්දීය රජය දැක්වූ ක්ෂණික සහයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ස්තූතිය.
මෙරට ක්ෂය රෝගී ප්‍රතිකාර සේවා සක්‍රීයව පවත්වාගෙන යාම සඳහා ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 52 ක පමණ වටිනාකමින් යුත් ක්ෂය රෝග මර්දන (Anti-tuberculosis) ඖෂධ තොගය නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා විසින් අදාළ ඖෂධ තොගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙහිදී නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම පරිත්‍යාගය භාරගැනීමෙන් පසුව අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ක්ෂය රෝගය තවදුරටත් මෙරටින් මුළුමනින්ම තුරන් වී නොමැති රෝග තත්ත්වයක් ලෙස පවතින බවයි. දැනට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්ෂය රෝගීන් 6,300 ක් පමණ හඳුනාගෙන ඇති අතර, එම ප්‍රමාණය 9,000 ක් විය හැකි බවට අනුමාන කෙරෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
හඳුනාගන්නා ලද රෝගීන් සඳහා රෝහල් පද්ධතිය හරහා අඛණ්ඩව ඖෂධ සැපයීමට කටයුතු කරන බවත්, මෑත කාලයේ ඖෂධ සැපයුම් ක්‍රියාවලියේ පැවැති යම් ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මතු වූ හිඟයට පිළියම් ලෙස ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඉතා කෙටි කාලයක් තුළ කිලෝග්‍රෑම් 2,600 කට ආසන්න මෙම ඖෂධ තොගය ලබාදීමට ඉන්දීය රජය කටයුතු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඉන්දියාව තුළද ක්ෂය රෝගය මර්දනය සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන වකවානුවක ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන ලද මෙම සහයෝගය අගය කළ අමාත්‍යවරයා, සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී මෙන්ම ස්වාභාවික විපත් හා හදිසි අර්බුද හමුවේද ඉන්දීය රජය දැක්වූ සහයෝගය වෙනුවෙන් ඉන්දීය රජයට හා ජනතාවට සිය කෘතඥතාව පළ කළේය.
ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය (Ministry of Health and Family Welfare) හරහා සපයන ලද මෙම වෛද්‍ය ආධාර තොගය, ඉන්දීය ගුවන් හමුදාවට (IAF) අයත් C-130J විශේෂ ගුවන් යානයක් මඟින් පසුගියදා දිවයිනට රැගෙන එන ලදී.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය ඩබ්ලිව්. කේ. කුමාර වික්‍රමසිංහ, වෛද්‍ය සැපයීම් අංශයේ (MSD) අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ (NDCU) වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.