දිවයින පුරා පිහිටි වතු අශ්‍රිත පාසල්වල ඩිජිටල් අධ්‍යාපන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වී. රාධක්‍රිෂ්ණන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (07) පාර්ලිමේන්තුවේදි මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය මෙසේද කීය,
පළාත් හයක තියෙන වතු පාසල් 849න් දැනට විදුලිය නැත්තේ පාසල් 3කට විතරයි. ඒකෙනුත් පාසල් 2කට නව ගොඩනැගිලි හදන්න මුදල් වෙන් කරලා තියෙන අතර අනික් පාසල දැනට පවත්වාගෙන යන්නේ තාවකාලික ගොඩනැගිල්ලකයි. ඩිජිටල් උපකරණ පරිස්සමෙන් තියන්නයි, යටිතල පහසුකම් දියුණු කරන්නයි ඉන්දියානු ආධාර යටතේ වතු පාසල් 60ක Smart Classrooms හදන්නත්, ඒවා අලුත්වැඩියා කරන්නත් ප්‍රතිපාදන ලැබිලා තියෙනවා. ඊට අමතරව තවත් වතු පාසල් 75ක ගොඩනැගිලි හදන්න රුපියල් මිලියන 101ක් සහ නව ගොඩනැගිලි හදන්න මේ අවුරුද්දේ රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා.
මුලින් තිබුණු වතු පාසල් 864න් 711කටම ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. ඒකෙන් පාසල් 446කට ඉන්ටර්නෙට් දෙන්න ශ්‍රී ලංකා ටෙලිකොම් එකට භාර දීලා තියෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවයි, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඩිජිටල් අධ්‍යාපන කාර්යසාධන බලකායයි එකතු වෙලා 2026 දෙසැම්බර් 31 වෙනිදාට කලින් ඔක්කොම ද්විතීයික පාසල්වලට ඉන්ටර්නෙට් දීලා ඉවර කරන්නයි ලෑස්ති වෙන්නේ.
මේ ඩිජිටල් මෙවලම් නඩත්තු කරන්න කෑගල්ල කලාපයට රුපියල් 860,000ක් සහ දෙහිඕවිට කලාපයට රුපියල් 400,500ක් ඇතුළුව අදාළ පළාත්වලට රුපියල් 1,903,368ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම දමිළ මාධ්‍ය ගුරුවරුන්ට ඩිජිටල් මෙවලම් පාවිච්චි කරන හැටි ගැන පවත්වපු පුහුණු වැඩසටහන් යටතේ වතු පාසල්වල ගුරුවරුන් 376ක්, උතුරු පළාතේ 214ක් සහ නැගෙනහිර පළාතේ 223ක් පුහුණු කරලා ඉවර කරලා තියෙනවා.
ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය දියුණු කරන්න 2026 අවුරුද්දට රුපියල් 71,129,848ක් වෙන් කරලා තියෙන අතර ඊළඟ අවුරුදු පහ ඇතුළත රුපියල් මිලියන 1,520ක සංවර්ධන වැඩසටහනකුත් ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම ළමයින්ගේ හොස්ටල්, ගුරු නිවාස සහ විවේකාගාර අලුත්වැඩියා කරන්නත් ලොකු මුදලක් අනුමත වෙලා තියෙනවා. මීට අමතරව කෘත්‍රිම බුද්ධිය (AI) විෂය පාසල් අධ්‍යාපනයට එකතු කරන්නත්, Google Classroom සහ Moodle හරහා ඉගෙනුම් කළමනාකරණ පද්ධති (LMS) පාවිච්චිය වැඩි කරන්නත්, ඔක්කොම විද්‍යාපීඨවලට Wi-Fi ඇතුළු අධිවේගී ඉන්ටර්නෙට් පහසුකම් දෙන්නත් පියවර අරගෙන තියෙනවා යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.