Friday, September 26, 2025
Follow Us
 අතිනවීන පහසුකම් සහිත පරීක්ෂණාගාරයක් ඉදිකිරීම සෞඛ්‍ය ඇමැති කියයි

ඖෂධ, ආයුර්වේද, ආහාර සහ රූපලාවන්‍ය නිෂ්පාදන ආදී සියලු ක්ෂේත්‍රයන්ට අදාලව පරීක්ෂණ කළ හැකි  අතිනවීන පහසුකම් සහිත පරීක්ෂණාගාරයක් ඉදිකිරීම සඳහා වන සාකච්ඡා සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

ලෝක ඖෂධවේදීන්ගේ දිනය සැප්තැම්බර් මස 25 දිනට යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සංවිධානය කළ “ලෝක ඖෂධවේදීන්ගේ දිනය - 2025” සමරු උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු අවධාරණය කරන ලදි.

මෙම සැමරුම් උත්සවය ඊයේ (25) පස්වරුවේ කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි.

ජගත් ඖෂධවේදී සම්මේලනයත්, ලෝක සෞඛ්‍ය සංවිධානයත්, එක්ව සැප්තැම්බර් මස 25 දිනය ලෝක ඖෂධවේදී දිනය ලෙස නම් කර ඇති අතර, ලොව පුරා රටවල් 158 ක මිලියන 04 කට ආසන්න සාමාජික සංඛ්‍යාවකගෙන් සමන්විත ජගත් ඖෂධවේදීන්ගේ සංගමය ඖෂධවේදීන්, ඖෂධ තාක්ෂණවේදීන්, ඖෂධ විද්‍යාඥයින් සහ ඖෂධවේදී ආචාර්යවරුන්ගෙන් යුක්ත වේ.

ලෝක ඖෂධවේදීන්ගේ දින තේමා පාඨය වන “සෞඛ්‍යය ගැන සිතන්න, ඖෂධවේදියා ගැන සිතන්න”  (Think Health, Think Pharmacist)  යන්න කර ගනිමින් මෙවර ලෝක ඖෂධවේදී දිනය සැමරීමට මෙරට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පියවර ගෙන තිබුණි.

මෙහී දී උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඖෂධවේදින් 4500 ක් පමණ සිටින බවත්, ඖෂධවේදීන්ගේ බරපතල හිඟයක් පවතින බව ද පෞද්ගලික ඖෂධ ශාලාවල ද ගුණාත්මකභාවය සහ  වෘත්තීමයභාවය සහිත ඖෂධවේදීන් ප්‍රමාණයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව ද අවධාරණය කරන ලදි.

2015 ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ප්‍රකාරව වසර 10 ක කාලයක් ඇතුළත, පෞද්ගලික ඖෂධ ශාලාවල ගුණාත්මකභාවය සහ  වෘත්තීමයභාවය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස දැනුම් දී ඇති බව ද ඒ සඳහා වසර 10 ක කාලයක් ලබා දී  තිබිය දී තවත් වසර 05 ක සහන කාලයක් ඉල්ලා සිටීම සාධාරණ නොවන බව ද පැවසීය.

මෙහි දී ලෝක ඖෂධවේදීන්ගේ දිනය යෙදී ඇති දිනයේ ම මෙරට ප්‍රධාන ජාතික පුවත්පතක මුල් පිටුවක රට පුරා ඉන්සියුලින් හිඟයක් ඇති බවට පුවතක් පළ කර තිබූ බවත්, එම පුවත සම්පූර්ණ අසත්‍ය පුවතක් බව අමාත්‍යවරයා  අවධාරණය කරන ලදි. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් හෝ වෛද්‍ය සැපයුම් ඒකකයෙන් කිසිදු කරුණූ විමසීමකින් තොරව අදාළ පුවත්පත ඉහත පුවත ප්‍රචාරය කර ඇති බව ද වෛද්‍ය සැපුම් ඒ්කකය තුළත්, ආයතන තුළත්, ජාතික රෝහල තුළත් තවත් සති 03 කට අවශ්‍ය වන තරම් ඉන්සියුලින් ඖෂධය ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය. ඔක්තෝබර් මස පළමු සතිය වන විට තවත් මාස එක හමාරකට ප්‍රමාණවත්වන ඉන්සියුලින් ඖෂධ ලැබීමට නියමිත බවත්, ඔක්තෝබර් මස අගභාගය වන විට තවත් මාස 04 කට අවශ්‍ය ඉන්සියුලින් ඖෂධ ලැබෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

ඖෂධ යනු ලාභදායි ව්‍යාපාරයක් වන බවත් මෙවැනි ප්‍රවෘත්ති ඉබේ නිර්මාණය නොවන බවත්, ඖෂධ සැපයුම යථාවත් කිරීමට වෙහෙම මහන්සි වූ පිරිස් වෙත විවිධ මට්ටමින් බලපෑම් එල්ල වී ඇති බව ද ජිවිත පවා අහිමිව ඇති බවද පැවැසූ අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය වලටත් වඩා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විහිදුණු පැතිරුණු ජාලයක් මෙම ඖෂධ සැපයුම් ක්‍රියාවලිය පිටුපසවන බව ද පැවසීය.

ඖෂධ සැපයුම්කරුවන් දෝෂ සහිතව ක්‍රියා කරන බවත්, ඖෂධ මිලදී ගැනීමේ සියලු ක්‍රියාවලීන් සම්පූර්ණ කර තිබිය දී පවා සැපයුම් කරුවන් සිදුකරන සමහර කටයුතු හේතුවෙන් ඖෂධ සැපයුමට බදා ඇති වන බවද පැවැසීය. වකුගඩු රෝගීන් සඳහා වන ඖෂධයක ගැටළුවක් ඇති වන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය යම් ප්‍රමිතිගත තත්ත්වයක් සහිත පිරිවිතර සපයා ඇති පසුබිමක සැපයුම්කරු  ඊට අඩු ප්‍රමිතියේ සැපයුම් සිදු කිරිමේ දී එය බාරගත නොහැකි බව ද අවධාරණය කරන ලදි.

අද වන විට මෙරට ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ඇතුළුව ව්‍යාපාරිකයන් ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනය කර ඇති බවත්, ඒ අනුව ඉදිරියේ දී ඖෂධ සැලකිය යුතු ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කර ගත හැකි වනු ඇති බව ද රජයේ වගකීම ලෙස ඖෂධ නියාමණය සඳහා වන ජාතික ඖෂධ නියාමන අධිකාරිය තවත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත්, ඖෂධ, ආයුර්වේද නිෂ්පාදන, ආහාර නිෂ්පාදන, රූපලාවන්‍ය ද්‍රව්‍ය ආදී සියලු දේවල් පිළිබදව පරීක්ෂණ කළ හැකි  දකුණු ආසියාවේ අති නවීනම පහසුකම් සහිත පරීක්ෂණාගාරයක් ඉදිකිරීම සඳහා වන සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.ත

ඖෂධවේදීන්ගේ කවුන්සිලය ආරම්භ කිරීම සඳහා ද ඉදිරියේ දී කටයුතු සිදු කරන බවත්, මෙම සියලු දේවල් ස්වාධීනව වර්ධනයවීමට ඉඩකඩ සකස් කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

මෙම අවස්ථාවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී තිලකරත්න,  වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනුඡ් සී වීරසිංහ, ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය නිතුෂි සමරනායක, ශ්‍රී ලංකා ඖෂධ විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රියන්ත සහබන්දු, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන ඖෂධවේදීනී ශලනි පීරිස් යන මහත්ම මහත්මීන් ඇතුළු දිවයින පුරා සිටින ඖෂධවේදීන් නියෝජනය කරමින් ඖෂධවේදීන්, කොළඹ නගර සභාව නියෝජනය කරමින් ඖෂධවේදීන්, විශ්‍රාමික ඖෂධවේදීන් පිරිසක් එක්ව සිටියහ.