Thursday, September 25, 2025
Follow Us
කිරි නිෂ්පාදනයට පුද්ගලික අංශයේ සහයත් රජයට

සමස්ත ලංකා කිරි නිෂ්පාදකවරුන්ගේ සංගමය (AIDA) මඟින් සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡාවක් නවම් මාවතේ පිහිටි Ceylon Chamber Conference හිදි පැවති අතර, ඒ සඳහා  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා ඊයේ (24) දින සහභාගී විය.

දේශිය කිරි ගොවියා  නඟා සිටුවීමේදී ඇති වන ගැටළු සහ සත්ත්ව අභිජනන ක්‍රියාවලියේ දී පවතින ගැටළු අවම කිරීම සඳහා මෙහිදී මුලිකවම සාකච්ඡා විය. 

ගොවියන් ව්‍යවසායකයන් කිරීම, තෘණ වර්ග වගා කොට අභිජනන ක්‍රියාවලිය වැඩි කිරීම, දේශීය කිරිවල තව තවත් ප්‍රමිතිය වැඩි කිරීම, දේශිය කිරි ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම, පශු සම්පත් අංශය වෙනුවෙන් තරුණ ගොවියන් වැඩි කිරීම වෙනුවෙන් තාක්ෂණය භාවිතය වැනි කරුණු කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අරමුණ අභිජනන කටයුතු දියුණු කිරිමයි. අභිජනන කටයුතු වෙනුවෙන් තමයි ඉඩම් වෙන්වෙලා තියෙන්නේ. පශු සම්පත් ක්ෂේත්‍රයේ අපේ සතුන්ට ආහාර ප්‍රමාණවත් නැහැ. තණකොළ සහ බඩඉරිඟු වවන්න අවශ්‍යයයි, සත්ව ආහාර සඳහා. අපි ඒ වෙනුවෙන් වැඩකටයුතු කරගෙන යනවා. බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක් දැනට අවශ්‍ය වුණත් නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික් ටොන් 3ක් පමණයි. ඉතිරිය ආනයනය කරනවා. රටේ නිෂ්පාදනය සියයට 40ක් පමණ.” 

මෙම අවස්ථාවට අමාත්‍යංශ අතිරේක ලේකම්,ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) සභාපති   ඇතුළු රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ නිලධාරීන් සහභාගී වූහ.