Friday, September 26, 2025
Follow Us
මධ්‍යම පරිසර අධිකාරිය “ගව්පේ” (GovPay) සමඟ එක් වෙයි

මධ්‍යම පරිසර අධිකාරිය ගව්පේ (GovPay) රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” සමඟ එක්ව කටයුතු කිරීම ආරම්භ කරයි. ඒ අනුව, මධ්‍යම පරිසර අධිකාරිය විසින් සපයනු ලබන විවිධ සේවාවන් සඳහා සිදුකරන සියලු ගෙවීම් 2025 සැප්තැම්බර් මස 26 වන දින සිට  GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” ඔස්සේ ගෙවිය හැකිය.

මේ සමඟ, මධ්‍යම පරිසර අධිකාරිය මගින් සපයනු ලබන සේවාවලට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු (Inspection Fees), බලපත්‍ර ගාස්තු (License Fees), ක්‍රියාත්මක කිරීමේ ගාස්තු (Processing Fees), අපනයනය සඳහා බාසල් එකඟතා ලබාදීමේ ගාස්තු (Basel Export Consent Fees), සහතික කිරීමේ ගාස්තු (Certificate Fees), පරිපාලන ගාස්තු (Administration Fees), ලියාපදිංචි ගාස්තු (Registration Fees), වාර්ෂික ගාස්තු (Annual Fees), රසායනාගාර ගාස්තු (Laboratory  Fees), අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගාස්තු (Waste Disposal Fees), ප්‍රසම්පාදන ගාස්තු (Procurement Fees), ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානයට අදාළ ගාස්තු (NEIC Payments) සහ විභාග ගාස්තු (Exam Fees) යන සේවා වර්ගවලට අයත් සියලු ගාස්තු GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව”  ඔස්සේ ගෙවිය හැකිය. ඒ අනුව, “GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” තුළ ක්‍රියාත්මක බැංකු 14 සහ ෆින්ටෙක් (FinTech) යෙදවුම් 06 ඔස්සේ මෙම ගාස්තු ගෙවීමට සේවාලාභීන්ට අවස්ථාව සැලසේ.

මෙම ක්‍රමවේදය සමඟ එක්වීම හේතුවෙන් සේවාලාභීන්ට සහ මධ්‍යම පරිසර අධිකාරියට පහසුවෙන්, කාර්යක්ෂමව සහ විශ්වසනීය ලෙස තම කාර්යයන් ඉටුකරගැනීමට අවස්ථාව සැලසේ. එලෙස ම මෙම ක්‍රමවේදයට එක්වන සේවාලාභීන්ට යම් පැහැදිලි කිරීමක් සිදුකර ගැනීමට අවශ්‍යවුවහොත් මධ්‍යම පරිසර අධිකාරියේ තමා සේවය ලබාගන්නා ඒකකයෙන් අදාළ පැහැදිලි කිරීම් සිදුකර ගත හැකිය.

“GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” හඳුන්වාදෙනු ලබන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය (Information and Communication Technology Agency of Sri Lanka - ICTA) සහ ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය වන ලංකාපේ (LankaPay) පුද්ගලික සමාගම විසිනි.  2025 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා “GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” සමඟ රාජ්‍ය ආයතන 147ක් එක්වී ඇති අතර මධ්‍යම පරිසර අධිකාරිය එලෙස එක්වූ නවතම ආයතනයයි. “GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාවේ”  වාර්තාගත දත්තවලට අනුව අදාළ කාලය තුළ එම රාජ්‍ය ආයතන 147 ඔස්සේ ලබාදෙන රාජ්‍ය සේවා 2017ක් සඳහා රුපියල් මිලියන 291ක ගෙවීම් “GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” ඔස්සේ සිදුකර ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය සහ LankaPay පුද්ගලික සමාගම අතර “GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව”  සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් තැබීම අද මධ්‍යම පරිසර අධිකාරියේ දී සිදුකළ අතර ඒ සමඟින් මෙම ගෙවීම් ක්‍රමවේදය මහජනතාවට නිල වශයෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීහු, LankaPay පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ ඩිජිටල් රාජ්‍ය හා ඩිජිටල් ආර්ථික වැඩසටහන් කළමනාකරු උදය කස්තුරිරත්න මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.