Tuesday, September 23, 2025
Follow Us
විදුලිබල සේවකයෝ පනත අනුව පිහිටුවන නව සමාගම්වලට බැඳීමට කැමැත්ත පළ කරමින් ලිපි ලබාදෙති
ලංකා විදුලිබල සංශෝධන පනත ක්රියාත්මක කරමින් පිහිටුවන ලද පූර්ණ රාජ්ය හිමිකාරීත්වය සහිත සමාගම් 4කට සේවකයින් සම්බන්ධ කිරීම අරඹා ඇත.

ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගෙන් කොටසක් තමන් ඉහත පරිදි පිහිටුවන ආයතනවලට සම්බන්ධ වීමට කැමැත්ත පළ කරමින් ලිපි ලබාදීමට කටයුතු කළහ.

ඊයේ (22) පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේ දී මෙලෙස කැමැත්ත පළ කිරීමේ ලිපි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල මහතාට ලබා දුන් අතර, විදුලිබල ක්ෂේත්ර ප්රතිසංස්කරණ කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ල මහතා ද මේ අවස්ථාවට එක් විය.
 
2025 අංක 14 දරන ශ්රී ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්ය හිමිකාරීත්වය සහිත ජාතික පද්ධති පාලන (පුද්) සමාගම, ජාතික සම්ප්රේෂණ ජාල සේවා සැපයුම් (පුද්) සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්) සමාගම සහ විදුලි ජනන ලංකා (පුද්) සමාගම යන සමාගම් 04කට ඒ අනුව ඉහත සේවක පිරිස් සම්බන්ධ කරනු ඇත.