Tuesday, September 23, 2025
Follow Us
පාසල් පාදක ක්‍රියාකාරකම් සඳහා වැඩි නැඹුරුවක් ඇති කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණයි - අගමැතිනී

හින්දු ආගමික උපදේශක මණ්ඩලයේ දෙවැනි රැස්වීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වන ලදි.

පාසල් පාදක ක්‍රියාකාරකම් සඳහා වැඩි නැඹුරුවක් ඇති කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණක් වන බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අනතුරුව සිසුන් ක්‍රියාකාරකම් මූලික අධ්‍යාපන ක්‍රමවේදයක් සඳහා යොමු වීම හරහා ඉදිරියේ දී පාසල්වල ආගමික අධ්‍යාපනය ද ක්‍රියාකාරකම් පාදක වනු ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය මෙහි දී පැවසුවා ය. 

හින්දු ආගම විෂයය සඳහා පත්වීම් ලැබූ ගුරුභවතුන් වෙනත් විෂයන් ඉගැන්වීම හේතුවෙන් හින්දු ආගම විෂයට අදාළව උග්‍ර ගුරු හිඟයක් පවතින බවත් ඒ සඳහා පිළියමක් අවශ්‍ය බවත් මෙහි දී හින්දු ආගමික උපදේශක මණ්ඩලය විසින් පෙන්වා දුන් අතර එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය ප්‍රකාශ කළේ, මේ දිනවල සියලු පළාත් ආවරණය වන පරිදි ගුරුවරුන්ගේ තොරතුරු රැස් කරමින් සිටින බැවින් එය අවසන් වීමෙන් අනතුරුව විධිමත් සැලස්මකට අනුව ගුරුවරුන් බඳවා ගැනීම හා අනුයුක්ත කිරීම මගින් ගුරු තුලනය කිරීම සිදු කරන බවයි. 

මේ වන විට අකර්මණ්‍ය වී ඇති හින්දු ශිෂ්‍ය සමිති නැවත සක්‍රීය කර පවත්වා ගෙන යාම යෝග්‍ය බවට ද හින්දු ආගමික උපදේශක මණ්ඩලය විසින් මෙහි දී යොජනා ඉදිරිපත් කරන ලදි.