නව ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය සමඟ යුරෝ මිලියන 8ක ප්‍රදාන ගිවිසුමක් අද (23) දින අත්සන් කර තිබේ.
යුරෝපා සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි, Carmen Moreno සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම ප්‍රදාන ගිවිසුම නිල වශයෙන් අත්සන් කළේය.
යුරෝපා සංගමය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය ඒකාබද්ධව සකස් කරන ලද මෙම ව්‍යාපෘතිය යුරෝපා සංගමය විසින් සපයනු ලබන යුරෝ මිලියන 8ක ප්‍රදානය මඟින් මූල්‍යනය කරනු ඇතැයි විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හායනය වූ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම, ඉලක්කගත සංරක්ෂණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම, තිරසාර ඉඩම් පරිහරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මගින් ජෛව විවිධත්ව සංරක්ෂණයට මෙම ව්‍යාපෘතිය සහාය වන අතර ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති සඳහා වැඩි වෙමින් පවතින අවශ්‍යතාව සපුරාලමින් පාරිසරික ආරක්ෂාවටත්, මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමටත් දායක වන බව වාර්තා වේ.
රජයේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය වන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” හි අවධාරණය කර ඇති ආර්ථික සංවර්ධනය සහ පාරිසරික තිරසාරභාවය අතර සමතුලිතතාවය ඇති කිරීමේ කඩිනම් අවශ්‍යතාවය සමඟ මෙම ව්‍යාපෘතිය සමපාත වේ.