Tuesday, September 23, 2025
Follow Us
මෙරට වැඩිහිටි තැනැත්තන් සඳහා ජාතික ප්‍රතිපත්තියක්

රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව යටතේ වන 'ගෞරවනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් - අර්ථවත් විශ්‍රාම දිවියක්' තේමාව අනුව යමින් වැඩිහිටියන්ට සමාජීය, ආර්ථිකමය, ශාරීරික සහ ආධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් වූ ජීවිතයක් ගත කිරීම සඳහා පහසුකම් සැපයීමට හැකි වන පරිදි 'ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය' සකස් කරනු ලැබ තිබේ. 

'ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳ ජාතික ප්‍රඥප්තිය සහ ජාතික ප්‍රතිපත්තිය' සඳහා 2006 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. වෙනස් වන ලෝක ප්‍රවණතාවන්ට අනුව ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන විය යුතු බව හඳුනා‌ ගනු ලැබ තිබේ.

එමෙන්ම, 2052 වර්ෂය වන විට අවුරුදු 60 හෝ ඊට වැඩි වයස්ගත ජනගහනය 24.8% ක් දක්වා වන අගයකට ඉහළ යනු ඇති බව එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති බැවින්, වැඩිහිටි ජනගහනයේ සුබසාධනය හා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව ද හඳුනා‌ගෙන ඇත.