Wednesday, July 16, 2025
Follow Us
ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලට න්‍යෂ්ටික තාක්ෂණය ඒකාබද්ධ කිරීම වේගවත් කරයි

ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලට න්‍යෂ්ටික තාක්ෂණය ඒකාබද්ධ කිරීම වේගවත් කිරීම රජයේ අදහසවන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (AIEA) සම්පත් දායකත්වයෙන් ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය සංවිධානය කරනු ලැබූ “වෛද්‍ය හා ආහාර නිෂ්පාදන වල අගය එකතු කිරීම හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ගැමා ප්‍රවිකරණ තාක්ෂණය භාවිත කිරීම ” පිළිබඳ ජාතික වැඩමුළුව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15)  බියගම ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහි ආරම්භක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යවරයා ගැමා ප්‍රවිකිරණ තාක්ෂණය වෛද්‍ය, ආහාර, කෘෂිකර්ම, හා පාරිසරික ක්ෂේත්‍රයන්හි නිෂ්පාදනවල අගය එකතු කිරීම හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා යොදා ගැනීම තුළින් ලබා ගත හැකි ප්‍රයෝජන පිළිබඳව ඒ ඒ ක්ෂේත්‍රවල නිෂ්පාදකයින්, කර්මාන්තකරුවන්, ආයෝජකයන් හා විශේෂයෙන් අපනයන කරුවන් දැනුවත් කිරීමට මේ ජාතික වැඩමුළුව හොඳ අවස්ථාවක් ලබා දෙනවා! දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල තුළ ශ්‍රී ලාංකික නිෂ්පාදනවල ගුණාත්මකභාවය, හා තරඟකාරිත්වය ශක්තිමත් කිරීමට ගැමා ප්‍රවිකරණ තාක්ෂණයෙන් ගන්න පුළුවන් පිටුවහල විශාලයි. ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලට න්‍යෂ්ටික තාක්ෂණය ඒකාබද්ධ කිරීම වේගවත් කිරීම අපේ රජයේ අදහසයි. ඒ සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය ක්‍රියාත්මක වීම සතුටට කාරණයක් යැයිද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අනුබද්ධිත ISO 13485 තත්ත්ව සහතික ලත් බහුකාර්ය ගැමා ප්‍රවිකිරණ යන්ත්‍රාගාරයක් වන අතර, 2014 ජනවාරි සිට මෙරට ක්‍රියාත්මක වෙයි.

මෙම වැඩමුළුව සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ආචාර්ය මාරියා හෙලේනා මහත්මිය, ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය, ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් චම්පා දිසානායක මහත්මිය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදන ආයතන, නියාමන ආයතන සහ ව්‍යාපාරික ආයතනවල විධායක නිලධාරීන් රැසක් සහභාගී විය.