අධ්‍යාපනයේ පරිවර්තනයක් උදෙසා ‘අධ්‍යාපන කවුන්සිලයක්’ පිහිටුවීමට රජය සූදානම් බවත්, ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය භාවය සහ ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම එම අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමේ මූලික අරමුණු දෙකක් බවට පත් වන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
ජාතික අධ්‍යාපන ආයතනයේ මීගොඩ පිහිටි අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමණාකර පීඨ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයකට එක්වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,
ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා සිදුකළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වැනි ම නව අධ්‍යාපන ප්රතිසංස්කරණයකට අපේ රටේ අධ්‍යාපනය රැගෙන යනනට ආණ්ඩුවක් විදියට අපි සූදානමින් ඉන්නේ. මෙහි දී ඔබ සමඟ වගේ ම රටේ විවිධ පාර්ශ්ව සමඟ සංවාද බොහොමයක් අවශ්‍ය වෙනවා. ඊට ඔබේ සක්‍රීය දායකත්වය අවශ්‍යයි.අධ්‍යාපනය වගේ විෂයකදී වෘත්තීය වගකීමෙන් එහාට ගිහින් පුරවැසියෙක් ලෙස පුරවැසි වගකීමකින් කටයුතු කරන්නට අපට සිදු වේවි. එහෙව් අධ්‍යාපනික පරිවර්තනයක ඉතිහාසය ඔබේ අතින් තමයි ලියැවෙන්නේ. ඒ නිසා නිල වගකීමෙන් එහාට ගිහින් කටයුතු කරන්නට මා ඔබට ආරාධනා කරනවා.
ඒවගේ ම ඔබ දන්නවා මේ වනවිට සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් වැඩිවීමක් සිදු වීමට නියමිත බව. මම හිතන්නේ සියලු ම රාජ්‍ය සේවකයන්ට වගේ ම විශ්‍රාමිකයින්ටත් ඒක විශාල සහනයක් සහ සතුටට කරුණක්. මේ මොහොතට අනුව සියලු අර්බුද සහ ගැටලු කළමනාකරණය කරගනිමින් තමයි මෙම වැටුප් වැඩි වීම ලබාදීමට අපට හැකි වුණේ. මේ රට අපි භාගරන්නකොට තිබුණු සමහර සීමා මායිම් තවමත් පවතිනවා. ඒ සියල්ල තවමත් සම්පූර්ණයෙන් ඉවර නැහැ. ඒ සීමා ලිහිල් වෙලත් නැහැ. නමුත් අපි ආණ්ඩුවක් විදියට තීන්දුවකට ආවා මූලික වැටුප් වැඩිකිරීමක් සිදු කළ යුතු යි කියලා. සියලු ම රාජ්‍ය සේවකයන්ට දැනෙන තැනක ඉඳලා තමයි අපි මේ වැටුප් වැඩි කිරීම සිදු කළේ. මෙයින් සියලු ම ප්‍රශ්න විසඳෙන්නේ නැති බව ඇත්තක්. නමුත් අවස්ථානුකූල ව හැකි හොඳ ම විසඳුම තමයි අපි ලබා දී තිබෙන්නේ.
පොරොන්දු වූ පරිදි ම රාජ්‍ය සේවයේ ඉහළ ම වැටුප් තල 10 අතරට ගුරු සහ විදුහල්පති ශ්‍රේණි රැගෙන එන්නට අපිට හැකියාව ලැබී තිබෙනවා. කවුරු කොහොම එක එක තැන්වල කතා කිවුවත් ඇත්ත ඒකයි. මම නැවතත් කියන්නේ අපි ඒ කටයුත්ත කරලා තියෙන්නේ. මුදල් අමාත්‍යංශය වගේ ම මහා භාණ්ඩාගාරයත් අපට පැහැදිලි ව ඒ බව දැනුම් දීලා තිබෙනවා. වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳ තවදුරටත් ඉදිරියේ දී කටයුතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා ක්‍රියාත්මකයි.
ඒ වගේ ම මේ පද්ධතිය තුළ අවුලක් පවතිනවා කියන එකට අපි සේරම එකඟයි. කොතනින් හරි එය නිවැරැදි විය යුතු යි. එය ක්ෂණික ව කළ හැක්කක් නොවෙයි. ක්‍රියාවලියක්. හුදු ආණ්ඩුවක් පමණක් මේකට මැදිහත් වීම ප්‍රමාණවත් නැහැ. පද්ධතිය පරිවර්තනයකට රැගෙන යන්නට නම් අප තුළ ද පරිවර්තනයක් සිදු විය යුතු යි. පද්ධතිය කියන්නේ අපි. අපි පරිවර්තනය වුණොත් පද්ධතිය ඉබේ ම පරිවර්තනය වෙනවා. ඒ සඳහා අධ්‍යාපන කවුන්සිලය අපි නිර්මාණය කර ගනිමු.
එමෙන්ම SLAS නිලධාරීන් සමඟ සාකච්ඡා කරන විට SLES සහ Planning Service ගැන ප්‍රශ්න මතු කෙරෙනවා. Planning Service සමඟ සාකච්ඡා කරනවිට අනෙත් සේවාවන් ගැන ප්‍රශ්න මතු වෙනවා. SLES ගැන කතා කළා ම SLAS සහ Planning Service සේවාවන් ගැන ප්‍රශ්න මතු වෙනවා. අපිට තියෙන්නේ රට හදන්න. අපිට අදාළ නැහැ සේවය කුමක් ද කියන එක. අපිට වැදගත් දක්ෂ අය කවුද, නිර්මාණශීලී අය කවුද කියන එකයි. එහෙම අය හුඟක් ඉන්නවා. කවර සේවයකින් එන්නේ ද කියන කාරණාව අදාළ නැහැ. අපට අවශ්‍ය මේ ක්‍රමය බිඳගෙන ඉදිරියට එන අයයි. ප්‍රධාන ම කරුණ මේ මොහොතේ අපට අවශ්‍ය ප්රතිසංස්කරණයක් නොව පරිවර්තනයක් බව අවධාරණය කර ගත යුතු යි.
2026දී සිදු කෙරෙන පරිවර්තනයට ප්‍රධාන කුළුණු 05ක් අපි ඇතුළත් කර තිබෙනවා. විෂය මාලා වෙනස් කිරීම සහ යාවත්කාලීන කිරීම, පුහුණු සහ ධාරිකා සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, සමාජ සංවාදයක් සහ සන්නිවේදන කථිකාවක් ඇති කිරීම සහ ඇගයීම් ක්රමයේ වෙනස කියන ඒවා එම කරුණු බව අවධාරණය කළ යුතු යි. අප මෙහි දී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණාවක් වන්නේ, අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය වසරේ වියදම් කර ඇත්තේ වෙන් කළ මුදලින් 50%ක ප්‍රමාණයක් ය කියන දෙය. අපට ලැබි තිබෙන මුදල් සියල්ල වියදම් කර මේ පරිවර්තනය සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙමු. යනුවෙන් ද පැවසුවා ය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා) කේ.කේ.පී ආරියසිංහමහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.