Thursday, July 04, 2024
Follow Us
නවක වෛද්‍යවරුන් 475ක් සීමාවාසික පුහුණුවට බඳවා ගැනේ

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි නවක වෛද්‍යවරුන් 475 දෙනෙකු සදහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (01) කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේ දී සෞඛ්‍ය ලේකම්තුමා අතින් නවක වෛද්‍යවරුන් 25 කට නිල වශයෙන් සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්වීම් ලිපි ලබාදීම සිදු විය. 

මෙසේ පත්වීම් ලබාගත් නවක වෛද්‍යවරුන් දිවයින පුරා රජයේ රෝහල් 68 ක වර්ෂයක පුහුණුව සදහා අනුයුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති අතර, මෙරට වෛද්‍ය පීඨ වල වසර 05 ක අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කළ මෙම වෛද්‍ය නිලධාරියෙකුට  මාසිකව  දීමනාවක් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. 

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා කියා සිටියේ ගෝලීය දත්ත විමසීමේදී රෝගියාට ලබා දෙන ඖෂධ මගින් ඇතිවන ගැටලු නිසා  සියයට විස්සක් පමණ රෝහල්වලට පැමිණෙන බවත්, මෙරට රෝහල්වලටත් එවැනි රෝගීන් පැමිණෙන බව ද, රෝහල් ගත විම අතින්  ශ්‍රී ලංකාවේ රෝහල් ගත වීම ඉහළ අගයක් ගන්නා බවයි.

සියල්ල දෙස බැලීමේදී රෝගී සුරක්ෂිතතාවය ඉතාම වැදගත් වන බවත්, ගුණාත්මක සහතිකයක් (Quality Assurance), රෝගී සුරක්ෂිතතාවයක් (Patient Safety) සදහා ක්‍රියාත්මක වැඩසටහන්  ශක්තිමත් කිරීම අවශ්‍යය බවද පැවසීය.

වසරක සීමාවාසික පුහුණුව සාර්ථකව නිම කරන වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචියට ලක් කෙරෙන අතර, අනතුරුව මෙරට වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාව එම නිලධාරින්ට පවතින අතර, මේ වනවිට වෛද්‍යවරු 30,000 කට අධික පමාණයක් රජයේ රෝහල්වල සේවය කරනු ලබයි.