Saturday, July 06, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා චීන වෙළඳපොළේ වැඩි ඉඩකඩක්

ශ්‍රි ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික බෝග චීන වෙළඳපොලට ආනයනය කිරීම සඳහා දැනට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන රජය සූදානම් බව චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ (Vice Minister of General Administration of Customs) උප අමාත්‍ය Wang Lingjung මහතා පවසයි.

අද (03)  පෙරවරුවේ චීන උප අමාත්‍යවරයා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වගා කරන කෘෂිකාර්මික බෝග එනම්, තේ, පොල්, මෙන්ම අන්නාසි සහ කුළුබඩු වර්ග මෙන්ම ධීවර නිෂ්පාදන වැඩිදුරටත් චීන වෙළඳපොළට අපනයනය කිරීමේ අවස්ථා පුළුල් කිරීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2023 දී මහජන චීනයට ශ්‍රී ලංකා‍ව විසින් අපනයනය කරන ලද සමස්ත කෘෂිකාර්මික අපනයනවල වටිනාකම ඩොලර් බිලියන 3.3ක් බව අවධාරණය කළේය. එමෙන්ම චීන රජය විසින් මෙරටින් මිලදී ගන්නා ලද තේවල වටිනාකම 2.5%කින් ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.

අප රටේ නිෂ්පාදනය කරන ලද තේ, ඇඳුම්පැළඳුම්, ස්වභාවික රබර් නිෂ්පාදන, මැණික්, ඛණිජ ද්‍රව්‍ය සහ ක්‍රියාකාරී කාබන්, පොල් ආශ්‍රිත නිෂ්පාදන හා රසකැවිලි මෙන්ම ධීවර නිෂ්පාදන ද චීනයට අපනයනය කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

 

එමනිසා චීනය සතු විශාල වෙළඳපොළේ වැඩි ඉඩකඩක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මික නිෂ්පාදන සඳහා ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ චීන රජයේ උප අමාත්‍ය Wang Lingjung මහතා චීන වෙළඳපොළේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා ඇති ඉඩකඩ දැනට 36%වන අතර, එය තවදුරටත් පුළුල් කරන බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන උසස් ප්‍රමිතියෙන් යුත් එළවළු සහ පළතුරු ඕනෑම ප්‍රමාණයක් මිලදී ගැනීමට චීන රජය ඉදිරි කාලය තුළ මෙම ද්වීපාර්ශවික සාකච්ඡාවලින් පසු පුළුල් කරන බවද ප්‍රකාශ කළේය.