ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුකරන බවත්, දැනට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් දැක්වූයේ ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,
“අප ආයතනය පාලනය වන්නේ සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමාජිකයින් තමයි මේ සඳහා නිල බලයෙන් පත් වෙන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්තුමන් ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා පවුල් කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙක්, පෝෂණ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් , කාර්මික තාක්ෂණික ආයතනයේ පර්යේෂණ නිලධාරියෙක්, මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙක්, සභාපති ලෙස පරිපාලනය පිළිබඳ දැනුමක් ඇති නිලධාරීවරයෙක්, නීතීඥ වරයෙක් ඇතුළු පිරිසකගෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විතයි. මේ ආයතනය වර්ෂ 2017 දී පාඩු නොලබන ලාභ ලබන ආයතනයක් බවට පත් වුනා වර්ෂ 2020 වෙනකොට ත්‍රිපෝෂ සංස්ථාව රජයට අයත් ලාභ ලබන ප්‍රධාන ව්‍යාපාරයක් බවට පත්වුණා. වර්ෂ 2021 දී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ අධීක්ෂණය වන 100%ක්ම ස්වාධීන ආයතනයක් විදියට ත්‍රිපෝෂ සමාගම පත් වුණා. ත්‍රිපෝෂ පැකට් එකක් නිෂ්පාදනයට යන පිරිවැයට 8%ක ලාභාංශයක් ඇතුව තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන්නේ”.
“වාර්ෂිකව අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියනවා මෙම වර්ෂයේදී මෙච්චර ත්‍රිපෝෂ ප්‍රමාණයක් අපට අවශ්‍යයි කියලා. මාසිකව අපි ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 19ක් විතර ලබා දෙන්න ඕන. දැනට ලක්ෂ 13ක විතර අවශ්‍ය තාවයක් තමයි තියෙන්නේ. ඒ ලක්ෂ 13 අපි නිෂ්පාදනය කරන්නේ ගර්භනී මවුවරුන්ට, කිරි දෙන මවුරුන්ට හා වයස අවුරුදු 03ට වැඩි ළමුන්ට දෙන්න. වයස මාස 06 සිට අවුරුදු 03 දක්වා ළමුන්ට ලබා දෙන ත්‍රිපෝෂ වලට අදාල නිර්ණායකයන්හි පවතින ගැටලුවක් නිසා ඒ වයසට අදාල ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ නිර්ණායක සෞඛ්‍ය අමාත්‍යාංශය නිරාකරණය කර දීමෙන් පසුව මාස 06 ත් අවුරුදු 03 ත් අතර දරුන්වට ද ත්‍රිපෝෂ සැපයීමේ හැකියාව ත්‍රිපෝෂ සමාගමට තියෙනවා. බඩ ඉරිඟු හිඟතාවය තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය ලංකාවේ වෙළෙඳපොලට අවශ්‍ය බඩ ඉරිඟු නිෂ්පාදනය කර ගැනීමට අපි තවම සමත් වෙලා නැහැ. ත්‍රිපෝෂ සමාගම කොරෝනා කාලයේවත් අපි වැහුවෙ නැහැ. කොහොම හරි අපි ඒ කාලෙත් ගම්වලට අවශ්‍ය ත්‍රිපෝෂ ලබා දුන්නා. ඒවගේම තමයි අපි ලංකාව තුළ ත්‍රිපෝෂ බෙදා හරින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොරි වලින් සහ දුම්රිය මගින්. අපිට අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය හරියටම ලැබුණොත් අඛණ්ඩවම දින 20ක් ඇතුලත් ලංකාවටම අවශ්‍ය පැකට් 19 ලක්ෂය ම නිපදවන්න පුලුවන්”
ත්‍රීපෝෂ සමාගම සඳහාම ගොවීන් ලවා බඩ ඉරිඟු වගා කිරීමේ ක්‍රම වේදයක් එන මහ කන්නයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබුණු පසු එම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත් පැවසූ ඒ මහතා මේ අවුරුද්දේ මේ වන විට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 37කට වැඩි ප්‍රමාණයක් ගම්මානවලට බෙදා හැර ඇති බවත් පැවසීය. එමෙන්ම ඉදිරි මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය බඩ ඉරිඟු හා සෝයා බෝංචි ලෝක අහාර සංවිධානය විසින් ලබා දෙමින් පවතින බවත් පැවසුවේය.
වසර 50ක ඉතිහාසයක් ඇති ත්‍රිපෝෂ සමාගම 1973 වර්ෂයේදී ආරම්භ කරන ලද ආයතනයකි. වර්ෂ 2010 දී “ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්” නමින් රජය සතු සමාගමක් ලෙස සංස්ථාපනය කරන ලදී.
ජා ඇල කපුවත්ත ප්‍රදේශයේ අක්කර 05ක භූමි භාගයක පිහිටා ඇති මෙම ආයතනය ලාභ ලබමින් මහා භාණ්ඩාගාරය සඳහා ද වාර්ෂිකව මුදල් ලබා දෙන ආයතනයක් බවට පත්ව ඇත.
මාසයකට අවශ්‍ය ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා බඩඉරිඟු කිලෝ මෙට්‍ර්ටික් ටොන් 15කි. එය දේශීයව සපයා ගැනීමට නොහැකි බැවින් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුවී ඇත. දේශීය ගොවීන් බහුතරයක් බඩ ඉරිඟු වගා කල ද ඔවුන්ට අවශ්‍ය පසු අස්වනු තාක්ෂණික දැනුම නොමැති කමින් එම අස්වැන්න නිසි ගුණත්වයෙන් වෙළෙඳපොලට ලබා දීමට නොහැකි වී ඇත. මෙම සමාගම “ත්‍රිපෝෂ” වලට අමතරව “සුපෝෂ” නමින් නිෂ්පාදනයකුත්, නියුට්‍රිෂන් බාර් නැමති බිස්කට් වර්ගයකුත් නිෂ්පාදනය කර ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තරයෙන් පිළිගැනීමක් ද මේ වන විට ලබාගෙන ඇත.
වසර 50ක් තිස්සේ ශ්‍රී ලංකාවේ මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට, දරුවන්ට බොහොම පෝෂ්‍යදායී ආහාරයක් වන ත්‍රිපෝෂ සහ සුපෝෂ පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස ද සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.