Thursday, July 17, 2025
Follow Us
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලේ
  • සලකා බලන ලද කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාව

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බලන ලදි.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා  (15) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභා රැස්වීම සඳහා බලශකති අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් නියෝජනය කරමින් නිලධාරීහු පැමිණ සිටියහ. මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අදාළව ඉදිරිපත් කර තිබූ යෝජනා සහ නිර්දේශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවය පළ විය.

එසේම මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවද කමිටුව හමුවේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදු කළ අතර එකඟවූ සංශෝධනද සමඟ පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන්ම මුද්‍රණය කර අද (17) කාරක සභාවේ අනුමතියට ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය කෙරිණි. මේ අනුව කාරක සභාව නැවත අද (17) රැස්වීමට නියමිතය.

මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, නලීන් බණ්ඩාර ජයමහ, අජිත් පී පෙරේරා, අසිත නිරෝෂණ එගොඩ විතාන, නීතීඥ ගීතා හේරත් සහ රවීන්ද්‍ර බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.