Thursday, September 12, 2024
Follow Us

කඳුකර සීතල ප්‍රදේශවල අය මෙය රාත්‍රි සීතල නිවාගන්න උණුසුම්ව රසබලන ආහාරයක් විදිහට ආහාරයට ගත්තත් අනෙක් පළාත්වල ගොඩක් අය මෙය උදෑසන ආහාරයක් විදිහටයි යොදාගන්නේ. 

රතු දත්ත වාර්තාවේ වඳවීගෙන යන සත්තු ගැන තොරතුරු තියෙනවා. සත්තුන්ට වගේම ඔය සෙතේ කෑමවලටත් වෙන්න පුළුවන් කියලා කවදාහරි හිතිලා තියෙනව ද? ලංකාව කියන්නේ රහ කෑමවලින් ලෝකයම හොල්ලපු රටක්. අපට ආවේණික කෑම වගේම වෙනත් රටවලින් අපට ලැබුණු ඒත් අපේ විදියටම හදාගත්තු කෑම බොහොමයක් ති‍ෙයනවා. අද කාලේ තුන් වේල සම්පූර්ණ කරගන්න බත්, පාන්, ඉඳිආප්ප, නූඩ්ල්ස්, රොටී, කඩල, තෝසේ, පරාටා වගේ කෑම හැරුණම අමුතුවෙන් දෙයක් හදාගන්නේ නැති තරම්.

හැබැයි අද කාලේ එහෙම වුණාට ඒ කාලේ කෑම කිව්වම නානප්‍රකාර කෑම තිබුණා. අමුතු අමුතු පැණි රස කෑම තිබුණා. එතකොට අතරින් පතර හැදෙන පොඩි බඩගින්නට කන්න කියලා තවත් කෑම වර්ග තිබුණා. අද කියන්නෙත් ඒ විදිහට වසර ගණනාවක් පුරා පරිණාමය වෙමින් ආපු අපූරු කෑමක් ගැන. මේක ලංකාවේ ජනයාම හදාගත්ත කෑමක් කියලා ගොඩක් අය කිව්වත් මේ කෑම වර්ග මුස්ලිම් ජාතීන්ගෙන් පැවත ආ අාහාරයක් විදිහටත් ප්‍රසිද්ධියක් ලබනවා.

ශ්‍රී ලංකාවේ අපිට අඩුවක් නැති දෙයක් තියෙනවා නම් ඒ තමයි විවිධත්වය. විවිධ ජාතීන්, ආගම්වලට අයිති පිරිස් ගණනාවක් ජීවත්වන අපේ රට ගණන් කරන්න බැරි තරම් ජාති, ආගම්, කුල ගොඩක් තියෙන ඉන්දියාව ආසන්නයේ තියෙන පුංචි දූපතක්. ඉතිං ඒ නිසාම ලංකාව කියන්නෙත් එහෙම ජාතීන් ගොඩකින් හැදුණු පුංචි රටක් කිව්වොත් හරි. ඒ නිසාම ඒ ඒ අයගේ ආහාර වර්ගත් ජාති භේදයකින් තොරව රස බලන්න කවුරුත් අමතක කරන්නේ නම් නැහැ. සිංහලයන්ගේ සිංහල අච්චාරුවට ජාති භේදයකින් තොරව හැමෝම ආස වෙද්දි දමිළ අයගේ පොංගල් බතටත්, මුස්ලිම් අයගේ බිරියානි එකටත් ඒ වටිනාකමම ලැබෙන්නේ ඒ නිසයි. අද කතා කරන්න යන මේ අපූරු කෑම වර්ගය ඒ විදිහට මුස්ලිම් ජනයාගෙන් පැවත ආවත් එය ලංකාවේ විදිහට පරිණාමය වෙලා නැවත නිර්මාණය වුණ කෑමක් කියලත් කියන්න පුළුවන්.

නම තක්කඩි. හැබැයි ඉතින් මේ තක්කඩි ගැන නොදන්න තක්කඩියෙක් නම් නැහැ. මොකද ජාති භේදයකින් තොරව මේ තක්කඩියන්ගේ රස නොබලපු කෙනෙක් නම් නැතිම තරම්.

මේ තක්කඩි, ක්‍රම කිහිපයකටම හදන්න පුළුවන්. හාල් පිටිවලට ගාගත් පොල් එකතු කරලා හදාගන්නත් පුළුවන්. නැත්නම් කැරට්, ලීක්ස්, වගේ එළවළු, හාල් පිටිවලට එකතු කරලත් හදාගන්න පුළුවන්. නැත්තම් පාන්වලට වතුර බිංදු කිහිපයක් එකතුකරලා කුඩා බෝල විදිහට හදන්නත් පුළුවන්. තක්කඩිවලට ගොඩක් දුරට යොදාගන්නේ එළු මස් කරිය. මොකද මුස්ලිම් ජනයා මේ තක්කඩි රස බලා තිබුණෙම එළු මස් එක්ක. හැබැයි ලංකාවේ ගොඩක් අය කුකුළු මස් කරියක් තමයි ඒ වෙනුවට යොදා ගන්නේ. සමහර අය තක්කඩි පරිප්පු කරියක් සමඟ රසබලන්නත් කැමැතියි. තව දෙයක් කියන්නම ඕනේ, ලංකාවේ මේ තක්කඩි ගොඩක්ම ප්‍රසිද්ධ නුවරඑළිය, හැටන්, ගම්පොළ වැනි කඳුකර සීතල පළාත්වල. ඒ ප්‍රදේශවල ජනයා රාත්‍රිය උණුසුම්ව රස බලන්න ප්‍රධාන ආහාරයක් විදිහටයි මේ තක්කඩි හැදුවේ.

කවුරුත් දන්න තක්කඩි ගැන, නොදන්න තක්කඩියොත් ඇති. ඉතින් ඒ අයට මේ රසම රස තක්කඩි හදන විදිහ කියලා දෙන්නයි මේ සූදානම. ඉතින් අපි අද කුකුළු මස් කරියක් එක්ක තක්කඩි රස බලමු. එළු මස්වලට ප්‍රිය අයට මේ සඳහා එළු මස් යොදාගන්නත් පුළුවන්. මේ කුකුළු මස් කරිය හදන්න කුකුළු මස් ග්‍රෑම් 500ක්, ලූනූ ගෙඩියක්, මිරිස් කුඩු තේ හැඳි 02ක්, කහ කුඩු තේ හැඳි 1/2ක්, බැදපු තුනපහ කුඩු හෝ මස්කරි පවුඩර් තේ හැඳි 2ක්, ගොරකා අඬු 2ක්, තළාගත් ඉඟුරු, සුදුලූනූ ටිකක්, රම්පෙ, කරපිංචා, සේර, රස අනුව ලුණු සහ තෙල් මේස හැන්දක් අවශ්‍යයි. මේ විදිහට කුකුළු මස් කරියට අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගත් පසු තක්කඩි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සූදානම්කර ගන්න. ඒ සඳහා හාල් පිටි කෝප්ප 1ක්, ගාගත් පොල් කෝප්ප 1/2ක්, සහ ලුණු අවශ්‍යයි. හැබැයි මේකට එළවළුත්

දාගන්නවනම් ගාගත් කැරට් ස්වල්පයක්, සිහින්ව කපාගත් ලීක්ස්, සිහින්ව කපාගත් ලූනූ ස්වල්පයක් සූදානම් කර ගන්න. තවත් අය ඉන්නවා පාන්වලින් මේ තක්කඩි හදනවා. ඉතින් පාන්වලින් තක්කඩි හදන තක්කඩියන්ට ඒ පාන් පෙති කිහිපයක් ඒ සඳහා එකතුකර ගන්න පුළුවන්.

දැන් අපි කුකුළුමස් කරිය සකසා ගනිමු. මුලින්ම කුකුළු මස් ටික ගෙන තරමක ලොකු කෑලි කපා ගන්න. සාමාන්‍යයෙන් එක් අයෙකුට එක කෑල්ලක් සෑහෙන ප්‍රමාණයට වගේ. පොඩියට කෑලි කැපුවොත් මස් එක ඉදෙද්දී කෑලි ටික දියවෙන්න බලනවා. මේ විදිහට කපා සෝදාගත් කුකුළු මස් එකට තුනපහ කුඩු, කහ කුඩු සහ ලුණු එකතුකර විනාඩි 30ක් පමණ වසා තබන්න. ඒ විදිහට තියෙද්දී මස්වලට හොඳට ලුණු, තුනපහ අල්ලනවා. එතකොට කුකුළු මස් කරිය තවත් රසවත් වෙනවා. තුනපහ ටික කොටද්දී හාල් මිටක් දාලා කොටාගන්න. කරිය උකුවට රසට එන්න ඒකත් බලපානවා.

දැන් භාජනයක් ළිපේ තබා තෙල් මේස හැන්දක් එකතු කරන්න. එය රත් වෙද්දි රම්පෙ, කරපිංචා, සේර සහ තළාගත් ඉඟුරු, සුදුලූනු එකතුකර සුවඳ එනතුරු බැදගන්න. දැන් මෙයට කපාගත් ලූනූ ටිකත් දමා හොඳින් බැදෙන්න හරින්න. දැන් මිරිස් කුඩු ටික දාගන්න. මිරිස් කුඩු කළු වෙන්න නොදී අඩු ගින්දරේ බැද ගන්න. දැන් කෑලි කපාගත් තක්කාලි ටිකත් එකතුකර ගන්න. දැන් මේකටම සීසන් වෙන්න තබාගත් කුකුළු මස් ටික එකතුකර හොඳින් කලවම් කරන්න. වතුර ටිකක් වැඩිපුර එකතුකර ගන්න. මොකද තක්කඩි බෝල ටික හදන්නෙත් මේ කුකුළු මස් හොද්දෙන් නිසා හොද්ද ටිකක් වැඩිපුර තියෙන්න ඕනේ. දැන් මෙයට ගොරකා සහ ලුණු එකතුකර අඩු ගින්දරේ විනාඩි 15ක් පමණ පියනකින් වසා තැම්බෙන්න හරින්න. විනාඩි දහයකට පමණ පසු පියන හැර භාජනය දෙපැත්තෙන් අල්ලා හොඳින් සොලවන්න. මේකට හැන්ද භාවිත කරන්න එපා. නැවත භාජනය ළිප තබා කරියේ තෙල් පෑදී රතුපාට එනතුරු තවත් විනාඩි තුන හතරක් අඩු ගින්දරේ වසා තබන්න. කෙනෙක්ට මේ කුකුළු මස් වෑංජනයට පොල් කිරි එකතුකර ගන්නත් පුළුවන්. ඒ කියන්නේ කුකුළු මස් කිරට හදන විදිහට. ඒ විදිහට මේ කරිය එක එක්කෙනාගේ කැමැත්ත මත සකසා ගත හැකියි. එතකොට තව කෙනෙක්ට පරිප්පු කරියක් එක්ක රස බලන්න හිතුණොත් ඒ අයටත් පුළුවන් පරිප්පු මිටක්, රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු කෑල්ලක, සුදු ලුනූ, රතු ලූනූ දාලා දියකිරෙන් තැම්බෙන්න තියලා, යහමින් මිටි කිරි එකතුකරගෙන හරි පදමට හරි රහට පරිප්පු කරිය පිසගෙන තක්කඩි රස බලන්න.

කරිය පිසෙන අතරතුරේදී තක්කඩි ටික සකසා ගනිමු. ඒ සඳහා හාල් පිටි භාජනයකට දමා ගන්න. පොල් දාලා හදන අය පොල් එකතු කරන්න. එළවළු දාලා හදන අය එළවළු එකතු කරන්න. එයට ලුණුත් එකතුකර ගන්න. පෙර සකසාගත් කුකුළු මස් කරියෙන් හොදි ස්වල්පයක් ගෙන මේ පිටි මිශ්‍රණය අනාගන්න. රොටි හදන පිටි අනන පදමටම අනාගන්න. අනාගත් පිටි එකෙන් පොඩි බෝල හදලා අපි වඩේ හදන විදිහට පොඩ්ඩක් පැතැලි කරන්න. සමහර අය මෙහෙම පැතැලි කරපු බෝල මැද්දෙන් පුංචි සිදුරකුත් සකසනවා. හරියට පුංචි පුංචි ඩෝනට් වගේ. ඒ විදිහට හැදුවොත් හරි ඉක්මනින් තක්කඩියෝ ටික තම්බා ගන්න පුළුවන්. දැන් මේ විදිහට හදාගත් බෝල සියල්ල මස් කරි එකට දමා විනාඩි 15ක් පමණ බෝල හොඳින් තැම්බෙන තුරු පිසගන්න.

පාන්වලින් තක්කඩි හදනවනම් පාන් පෙතිවලින් පොඩි පොඩි කොටස් කඩාගෙන වතුර බිංදුවක් දෙකක් එකතුකරලා පොඩි පොඩි බෝල හදාගෙන කුකුළු මස් කරියට එකතුකර ගන්න පුළුවන්. හැබැයි පාන්වලින් සකසන තක්කඩිවලට වඩා පිටි මිශ්‍රණයෙන් හදන තක්කඩිවලින් කරියට හොඳ උකු ගතියක් ගන්න පුළුවන්.

කඳුකර සීතල ප්‍රදේශවල අය මෙය රාත්‍රි සීතල නිවාගන්න උණුසුම්ව රසබලන ආහාරයක් විදිහට ආහාරයට ගත්තත් අනෙක් පළාත්වල ගොඩක් අය මෙය උදෑසන ආහාරයක් විදිහටයි යොදාගන්නේ. හැබැයි ඉතින් තක්කඩි කන්න වෙලාවක් අවේලාවක් නැහැ. ඕනෙ තක්කඩියෙක්ට ඕනෙ වෙලාවක රස බලන්න පුළුවන් අපූරු කෑමක්.

උපදෙස් - සූපවේදී සර්වදර්ශනී අප්සරා

Tharunie