අප්‍රේල් 16 සහ 17 දෙදින තුළ විදුලි කප්පාදු කරන කාලය අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැය 2යි මිනිත්තු 15 ක කාලයක් පමණක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි.
මෙම මාසයේ පරිභෝජනය සඳහා අවශ්‍ය වෙතැයි අපේක්ෂා කෙරෙන පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මෙරටට ගෙන්වන ඉන්ධන නිසි ප්‍රමිතියෙන් තොර බවට ඇතැම් පුද්ගලයින් සැක පල කරනවා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ රසායනාගාර කළමණාකරු නලින් චන්ද්‍රසිරි පැවසුවේ මෙරටට ගෙන්වන ඉන්ධන නියමිත ප්‍රමිතියෙන් යුක්ත බවට අවස්ථා හතරකදී පරීක්ෂා කර තහවුරු කෙරෙන බවයි. එබැවින් මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සහතික විය හැකි බවද ඔහු කියා සිටියා.
අත්‍යවශ්‍ය සේවාවන් සඳහා කඩිනමින් ඉන්ධන ලබා දීමට නව වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු සකස් කරමින් තිබෙනවා. මේ සඳහා ආකෘති අයදුම්පත්‍රයක් ද මේවනවිට සකස් කර අවසන්. ඒ පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයන කිරීමෙන් අනතුරුව එය අත්‍යවශ්‍ය සේවාවන් සපයන පුද්ගලයින් වෙත ලබාදීමට නියමිත බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ. මෙහිදී සිදුවන්නේ පෝළිම්වල රැදී නොසිට අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන නිකුත් කිරීම මෙහි අරමුණයි.
ඉදිරි මාස 06 ඇතුළත ඉන්ධන මිල සහ බදු අනුපාතයන් ඉහළ දැමීමට සිදුවන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. රොයිටර් පුවත් සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අන්තර්කාලීන ආණ්ඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ඇතැම් යෝජනා සංශෝධනය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කර තිබෙනවා. ආණ්ඩු පක්‍ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සමග ඊයේ රාත්‍රී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළ බවයි එම මන්ත්‍රීවරුන් පැවසුවේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා අදහස් දැක්වීමක් සිදුකිරීමට නියමිත බවයි.
පවතින දේශපාලන අර්බුදයට බොහෝ පාර්ශව විවිධ විසඳුම් ඉදිරිපත් කරමින් සිටිනවා. විරෝධතාවයේ නිරත ජනතාව පවසන්නේ සමස්ථ ආණ්ඩුවම ඉවත් විය යුතු බවයි. ජනාධිපතිවරයා ඉවත්විය යුතු බව තවත් පාර්ශවයක් පවසද්දී, අග්‍රාමාත්‍යවරයා ද ඉවත්විය යුතු බවට තවත් පාර්ශවයක් අදහස් පළ කරනවා.
Page 197 of 638