Sunday, October 25, 2026
Follow Us
“සෑම දරුවෙකුටම අධ්‍යාපනයේ උපරිම ප්‍රතිලාභ අත්කරගත හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම අපේ අරමුණයි” - අගමැතිනිය

​පොළොන්නරුව විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඉදි කළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (24) අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

​රජයේ රුපියල් මිලියන 55ක පමණ ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද මෙම නව ගොඩනැගිල්ල ප්‍රාථමික පන්ති කාමර අටකින් සමන්විත වේ. ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව, සිසුන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ අග්‍රාමාත්‍යවරිය නව පන්ති කාමරවල තත්ත්වය ද නිරීක්ෂණය කළාය.

​එමෙන්ම, පාසලේ සිසුන්ගේ ඉගෙනුම් කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට බලපාන අධ්‍යයන සහ සුබසාධන ගැටලු පිළිබඳව ද අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු විය.

​මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී විෂයමාලා වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, ගුරු පුහුණුව සහ සුදුසු පාසල් පරිසරය ද ගොඩනැඟිය යුතු බවත් ය. ඒ අනුව, පාසල් පද්ධතියේ සූදානම සලකා බලමින් පියවරෙන් පියවර නව විෂයමාලා ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

​නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ දරුවන්ට නිදහසේ හා සතුටින් ඉගෙනුම් කටයුතුවල නිරත විය හැකි, ගුරුවරුන්ට ඵලදායී ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කළ හැකි මෙන්ම දරුවන්ගේ ආරක්ෂාව ද තහවුරු වන ගුණාත්මක පාසල් පරිසරයක් ගොඩනැඟීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

​විශේෂයෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේදී පන්තිකාමර තුළ ඇති ඉඩකඩ පහසුකම් , භාණ්ඩ හා උපකරණ ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවධානය යොමු කරන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

​රටේ ආර්ථික ස්ථාවරත්වය මත අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී ඉදිරි වසර සඳහා මෙවරට වඩා වැඩි මුදලක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවාය.

එමෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය සහ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අදාළ නෛතික කටයුතු ආරම්භ කර ඇති බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අනාවරණය කළාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගැළපෙන අයුරින් ගුරුවරුන් බිහි කිරීමේ අරමුණින් පාසල් විෂයමාලා මෙන්ම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ගුරු අධ්‍යාපන විෂයමාලා ද සංශෝධනය කරමින් පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

​අධ්‍යාපන පද්ධතියේ ආයතනික ගැටලු, යටිතල පහසුකම් සහ මානව සම්පත් හිඟයන්ට විසඳුම් ලබා දෙමින් සමස්ත පද්ධතියේම පරිවර්තනයක් ඇති කිරීම රජයේ අරමුණ බව ද පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, දැනුම, නිපුණතා සහ යහපත් වටිනාකම් සහිත පුරවැසියන් බිහි කිරීම අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වගකීමක් බව ද අවධාරණය කළාය.

​එම ගමන සාර්ථක කර ගැනීම සඳහා ගුරුවරුන්ගේ කැපවීම මෙන්ම දෙමාපියන්ගේ සහ ප්‍රජාවගේ සහයෝගය ද අත්‍යවශ්‍ය බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, ගමේ පාසල ආරක්ෂා කරමින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතු බව ද පැවසුවාය.

​මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර යන මහත්වරුන් සහ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, උතුරු මැද පළාත් අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඇතුළු අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් පිරිසක් එක්ව සිටියහ.