Sunday, September 08, 2024
Follow Us
 දිවයින පුරා ව්‍යාප්ත කෙරෙන කීරි සම්බා වගාව

වී අලෙවි මණ්ඩලය ,හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියාමණ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ කුඹුරු අක්කර 500ක කීරි සම්බා වගා කිරීමේ ව්‍යාපෘතියේ අස්වනු නෙලීම ඊයේ (20)  ආරම්භ විය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් මෙම අස්වනු නෙලීමේ වැඩසටහන අගුනකොළපැලැස්ස අලුත්වැව කුඹුරුයායේ දී සිදු කෙරිනි.

වෙළෙඳපළේ අනෙකුත් සහල් මිල ගණන් පහළ මට්ටමක පැවතුන ද කීරි සම්බා සහල් මිල ඉහළ යාම නිසා කීරි සම්බා බිත්තර වී නිෂ්පාදනය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.

 වී අලෙවි මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ගොවි බාරකාර අරමුදලේ මුල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් ගොවින් 300කට අක්කර 500ක වගා කිරීම සඳහා කිරි සම්බා බීජ වී හා අනෙකුත් කෘෂි යෙදවුම් නොමිලයේ ලබා දීමට පියවර ගත්තේය.

 ඒ අනුව එම අක්කර 500 කීරි සම්බා වී වගාව මේ වනවිට ඉතාමත් සාර්ථක වී තිබේ. කීරි සම්බා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙතෙක් වගා නොකරන අතර පළමුවරට පසුගිය මහ කන්නයේ අක්කර 100ක වගා කළ අතර ඉන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවිය.

 මෙම අක්කර 500 සමස්ත වී අස්වැන්න වී අලෙවි මණ්ඩලය මගින්  මිල දී ගැනීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දුන්නේය.

 ඒ අනුව කීරි සම්බා සඳහා රජයේ මිල වන රුපියල් 130ක මිල යටතේ මෙම වී තොග මිල දී ගැනීම ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිතය.

 මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රට තුළ කීරි සම්බා හිඟයක් පැවැතිම හේතුවෙන් මෙවර යල කන්නයේ දී කීරි සම්බා වැඩිපුර වගා කිරීමට පියවර ගත් බව අවධාරණය කළේය.

එමෙන්ම රුපියල් 360ට පැවැති කිරි සම්බා සහල් කිලෝවක මිල මේ වනවිට රුපියල් 260ක් දක්වා අවම වී ඇති බවත්, කීරි සම්බා සඳහා වන රජයේ පාලන මිල යටතේ ඉදිරියේ දී හිඟයකින් තොරව කීරි සම්බා සහල් මිල දී ගත හැකි වනු ඇති බවත්  කීය.

අපේ රටේ වැඩිදෙනෙක් කීරි සම්බා සහල් පරිභෝජනයට කැමැත්තක් දක්වන බවත්  පසුගිය කාලයේ කීරි සම්බා මිල ඉහළ මට්ටමක පැවැතුන බවත් මේ නිසා වැඩි වශයෙන් ඒවා වගා කිරීමට පියවර ගත් බවද පැවසීය.

මෙවර යල කන්නයේ හෙක්ටයාර් 70,000කට වඩා කීරි සම්බා ඇති බවත් මේවන විට කිරි සම්බා සහල් මිල ගණන් ක්‍රමයෙන් අඩු මට්ටමක පවතින බවත් ලබන මහ කන්නයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 2000ක කීරි සම්බා වගාව ව්‍යාප්ත කරන බවද කී

මෙවර වී මිල දී ගැනීම සඳහා රජයේ වැඩ පිළිවෙළ වන්නේ කුඩා හා මධ්‍යම සහල් මෝල් අයිතිකරුවන් මගින්  වී මිල දී ගැනිම බව කී අමාත්‍යවරයා ,  ඒ සඳහා ඔවුන්ට රුපියල් මිලියන 25 සිට 50 දක්වා වූ ණය මුදලක් රජය ලබා දෙන බවද වී අලෙවි මණ්ඩලයත් ණය මුදල් ගන්නේ නැතිව ඔවුන් සතු මුදලින් වී මිල දී ගන්නා බවද මේ නිසා පසුගිය කන්න දෙකෙහිදීම වී අලෙවි මණ්ඩලය ලාබ ලබන තත්ත්වයට පත් කිරීමට හැකි වු බවද මෙවර ද වී අලෙවි මණ්ඩලය ඔවුන් සතු මුදල්වලින් යම් වී ප්‍රමාණයක් මිල දී ගැනිමට කටයුතු කරන බවද පැවසුවේය.