Friday, November 07, 2025
Follow Us
අධ්‍යාපනය හා පුහුණුවට 2026 අයවැයෙන් යෝජනා රැසක්

අධ්‍යාපනය හා පුහුණුව සඳහා 2026 අයවැය යෝජනා රැසක් ඉදිරිපත් කර තිබිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළේය. එම යෝජනා පහත සඳහන් වේ.

  • පවුලකට තම දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත්, උපකරණ හා ලිපි ද්‍රව්‍ය සඳහා වන පිරිවැය අඩු කිරීමට සහ සෑම දරුවෙකුටම තම අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ලැබෙන බව සහතික කිරීම අරමුණු කරගනිමින්, 2025 වසරේ සිසුන් සඳහා ලබා දුන් රුපියල් 6,000 ක ලිපිද්‍රව්‍ය දීමනාව 2026 වසරේ දී ද අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි කටයුතු කරනවා. මේ සඳහා අස්වැසුම වැඩසටහන තුළින් රුපියල් මිලියන 9,000 ක් වෙන්කර තිබෙනවා.
  • අධ්‍යාපනය සියලු දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස සලකන බැවින් ආබාධ සහිත දරුවන්ට ද අන්තර්කරණ අධ්‍යාපනය තුළින් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරනවා. කෙසේ වෙතත්, ආබාධ සහිත දරුවන් අධ්‍යාපනය සඳහා යොමු වීම ඉතා අඩු මට්ටමක් පවතිනවා. මෙම දරුවන් පාසල් වෙත යොමු කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත දරුවන් සඳහා වෛද්‍ය නිර්දේශය මත එක් දරුවෙකුට රුපියල් 5,000 ක දිමනාවක් මාසිකව ලබා දීම සඳහා රුපියල් මිලියන 50 ක් මෙවර අයවැයෙන් වෙන් කිරීමට යෝජනා කරනවා.
  • පසුගිය දශකය තුල විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 43,000 ක් දක්වා ඉහළ නැංවුව ද, ඔවුන් සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම නිසා බරපතල ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. එබැවින් ශිෂ්‍යයන් සඳහා අවශ්‍ය නේවාසිකාගාර, ආපනශාලා සහ පොදු ඉගෙනුම් ප්‍රදේශ ආදී පොදු පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 2,500 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
  • පසුගිය කාලයේ දී නව වෛද්‍ය පීඨයන් ඇති කළ ද ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය මහාචාර්ය ඒකක, විද්‍යාගාර පහසුකම් නොමැති වීම නිසා ඇති වූ ගැටලු නිරාකරණය කරමින් සබරගමුව, මොරටුව, රුහුණ, ඌව වෙල්ලස්ස හා නැගෙනහිර විශ්ව විද්‍යාල ඇතුළු වෛද්‍ය පීඨ සංවර්ධනයට රුපියල් මිලියන 11,000 ක ප්‍රතිපාදන වෙන් වෙන් කර තිබෙනවා.
  • මීට අමතරව විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල පහසුකම් වැඩි දියුණු කිරීම හා පර්යේෂණ කටයුතු සඳහා රුපියල් මිලියන 11,500 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
  • විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනාව අපගේ පළමු අයවැයේදීම රුපියල් 2,500 කින් වැඩි කළා. 2026 වසරේ දී ද ඉහළ යන ජීවන වියදමට සරිලන පරිදි, විශ්වවිද්‍යාල සිසුන් සඳහා මාසික මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා රුපියල් 2,500 කින් වැඩි කිරීමට යෝජනා කරනවා. ඒ අනුව මාසික මහපොළ දීමනාව රුපියල් 10,000 ක් දක්වාත් ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9,000 ක් දක්වාත් ඉහළ නංවනවා. මෙයට සමගාමීව “නිපුණතා සිසු දිරිය දීමනාව” ද රුපියල් 2,500 කින් වැඩි කරනවා.
  • ආබාධ සහිත දරුවන් උසස් අධ්‍යාපනයට යොමු වන්නේ ඉතාමත් අඩු ප්‍රතිශතයක්. ඔවුන් ද එම අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබනුයේ ආබාධ සහිත දරුවන් සඳහා සුවිශේෂ පහසුකම් ඉතා අඩු මට්ටමක පවතින පරිසරයක් තුලයි. එබැවින්, උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ආබාධ සහිත ශිෂ්‍යයින් දිරි ගැන්වීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල ශිෂ්‍යයින් සඳහා රුපියල් 5,000/- ක දීමනාවක් මාසිකව ලබා දීමට රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
  • ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සඳහා ගෙවනු ලබන දීමනාව රුපියල් 2,500 කින් වැඩි කිරීමට යෝජනා කරනවා. එම වැඩිවන දීමනා ගෙවීමට දැනට වෙන්කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2,750 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
  • තෝරාගත් විශ්වවිද්‍යාලවල, විශේෂයෙන්ම අග්නිදිග, යාපනය (කිළිනොච්චි), වව්නියාව, නැගෙනහිර සහ සබරගමුව වැනි විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර ගොඩනැඟිලි ඉදිකිරීමට අයවැයෙන් රුපියල් මිලියන 1,500 ක් වෙන් කරනු ලබන අතර රට තුළ පැවති මූල්‍යමය අර්බුදය හේතුවෙන් නිසි පරිදි නඩත්තු කර නොමැති නේවාසිකාගාර ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ද මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මින් ඉදිරියට විශ්වවිද්‍යාල සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් සැපයීමේ දී අවට ප්‍රජාවගේ ගොඩනැඟිලි පහසුකම් යොදාගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා.
  • වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිකොට, නිසි ගරුත්වයක් සහිත රැකියා අවස්ථා සුලබ කිරීම ක්‍රියාත්මක වීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අපේක්ෂා කරනවා. ඒ අනුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පහසුකම් වැඩි දියුණු කිරීම, විෂය පාඨමාලා නවීකරණය කිරීම, ගුරුවරුන් හා උපදේශකයන් පුහුණු කිරීම වැනි කාර්යයන් අඛණ්ඩව සිදු කරනු ඇත. වෘත්තීය අධ්‍යාපන හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 9 ක්, විශිෂ්ටතා මධ්‍යස්ථාන (Center of Excellence) ලෙස වැඩි දියුණු කිරීම හා දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන 50 ක් වැඩි දියුණු කිරීම 2026 වසරේ ආරම්භ කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් ඇතුළුව සමස්ත වෘත්තීය පුහුණු අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් රුපියල් මිලියන 8,000 ක් වෙන් කර තිබෙනවා.