2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාව සඳහා සහාය දැක්වීමට ගෙනා යෝජනා කිහිපයක් ගෙන තිබෙන අතර එම අයවැය කතාවේ පහත සඳහන් පරිදි එම යෝජනා ඉදිරිපත් කර තිබිණි.
"රටපුරා විසිරී සිටින මිලියන 1.6 ක් පමණ වූ ආබාධ සහිත ප්‍රජාව, රටේ සමස්ත ජනගහනයෙන් සියයට 7 ක් වැනි ප්‍රමාණයක් නියෝජනය කරනවා. එම ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමේ ජාතික සම්මුතිය පිළිගත් රටක් වශයෙන්, එම ප්‍රජාවගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම රජයට පැවරී තිබෙනවා.
- අස්වැසුම වැඩසටහන හරහා ආබාධ සහිත පුද්ගලයින් 140,000 ක් පමණ සඳහා රුපියල් 10,000 බැගින් වූ සහනාධාරයක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 19,000 ක ප්‍රතිපාදන දැනටමත් වෙන් කර තිබෙනවා.
- ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශ නියෝගවලට අදාළව පවතින ගැසට් පත්‍රය ද වර්තමානයට ගැලපෙන අයුරින් සකස් කිරීම ද, ප්‍රමුඛ කාර්යයක් සේ සලකා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන්‌ට හා පිරිවිතරයන්ට අනුව සංශෝධනය කිරීමට කටයුතු කරනවා.
- ආබාධ සහිත ප්‍රජාව සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස්නැවතුම් පොළ, අධිකරණ, පොලිස් ස්ථාන වැනි පොදු ස්ථාන වෙත ප්‍රවේශ වීමේ සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,000 ක ප්‍රතිපාදන වෙන්කිරීමට යෝජනා කරනවා.
- රජයේ සේවයේ සියයට 3 ක ප්‍රතිශතයක් ආබාධ සහිත ප්‍රජාව සඳහා වෙන් කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති නමුත් එය නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නැහැ. එබැවින් රජයේ සේවය සඳහා එම සියයට 3 ක ප්‍රතිශතය බඳවා ගැනීමට ඉදිරි සියලු රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්වල දී කටයුතු කරනවා.
- ආබාධ සහිත ප්‍රජාව ජාතික ආර්ථිකයට දායක කර ගැනීම මුලික කරගෙන පෞද්ගලික සේවායෝජකයන් දිරිගැන්වීම හා සේවා නියුක්තිය වර්ධනය කිරීමේ අරමුණින් රැකියාවක නියැලිය හැකි මට්ටමක සිටින ආබාධ සහිත තැනැත්තන් පෞද්ගලික අංශයේ රැකියාවක් සඳහා යොදවා ගන්නේ නම්, රුපියල් 15,000 ක උපරිමයකට යටත්ව සේවකයන්ගේ වැටුපෙන් සියයට 50 ක වැටුප් සහනාධාරයක් මාස 24 ක් දක්වා රජය මඟින් ගෙවීමට අප යෝජනා කරනවා. මේ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- ඔටිසම් ඇතුළු ආබාධිත තත්ත්වයන් සහිත දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය හා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ දැනටමත් සිදු කරමින් පවතිනවා. එම කටයුතු ඉදිරි වසරේ දී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රුපියල් මිලියන 100 ක් සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ රුපියල් මිලියන 447 ක් වෙන් කර තිබෙනවා. එම කාර්යයන් තවදුරටත් පුළුල් කිරීම සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම වෙනුවෙන් අමතර රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමටත් යෝජනා කරනවා."