ඉරානයේ සිට ශ්‍රී ලංකාවට ගෑස් රැගෙන එන නෞකාවක් ප්‍රමාද වීමත්, එයින් ගෑස් ඉල්ලුම ඉහළ යාම නිසාත්, රට පුරා හට ගෙන ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර් හිඟය තවත් සතියක් පමණ කාලයක් පවතිනු ඇතැයි ගෑස් සමාගම් ප්‍රකාශ කරයි.
‘ලාෆ්ස් සමාගමට’ ගෑස් ගෙන එන නෞකාවක් ඉරානයේ සිට පැමිණීම ප්‍රමාද වී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ එය ශ්‍රී ලංකාවට සේන්දු වීමට නියමිත බව සමාගමේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
එම නැව පැමිණිය හැකි දිනයක් තවමත් නිශ්චිතව සඳහන් කළ නොහැකි බවද පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි.
නෞකාව ප්‍රමාද වීමෙන් පසුව ගෑස් හිඟයක් හටගත් අතර එයින් පසුව ලිට්රෝ සමාගමේ ගෑස් සඳහා වෙළෙඳපොළ ඉල්ලුම සියයට 170කින් ඉහළ ගොස් තිබිණි.
ලිට්රෝ සමාගම දෛනිකව ගෑස් සැපයුවද, ගෑස් හිඟ බව කියා තවදුරටත් පාරිභෝගික පැමිණිලි ලැබෙන බවද එම සමාගමේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
මේ අතර ඇතැම් වෙළෙඳ නියෝජිතයන් ගෑස් සිලින්ඩර් තිබුණද ඒවා පාරිභෝගිකයන්ට අලෙවි නොකිරීමේ සිද්ධීන් ගැනද පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි ලැබී තිබේ. ඒවා සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශනය කරන බව එහි වැටලීම් අංශයේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසයි. දිවයින පුරා පවතින ගෑස් සිලින්ඩර් හිඟය නිසා පාරිභෝගික ජනතාව මහත් අසීරුතාවලට මුහුණ දී ඇතැයි වාර්තා වේ. දෙණියාය මොරවක කළුබෝවිටියන ආදී ප්‍රදේශවල දින කිහිපයක සිට ගෑස් හිඟයක් පවතී.
හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර කිහිපයකම ඉල්ලුමට සරිලන තරම් ගෑස් සිලින්ඩර් තොග නොතිබීම නිසා ගැටලු රැසක් හටගෙන ඇත. එළැඹෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගරවලට පාරිභෝගිකයන් විශාල ලෙස පැමිණෙන බවත් ගෑස් හිඟය ඔවුන්ටද බලපාන බවත් වතුකරයේ ජනතාව ප්‍රකාශ කරති. නගරවලට එන ජනතාවට පිසූ ආහාර සැපයීම ගැටලුවක් වන බව එම ප්‍රදේශවල ආපන ශාලා හිමියෝ කියති. මේ නිසා ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතුද අඩාළ වී ඇතැයි හැටන් නගරයේ බේකරි සහ ආපන ශාලා සංගමයේ උප සභාපති ෆසීර් මොහොමඩ් මහතා කියයි.
මේ සම්බන්ධයෙන් අප හැටන් නගරයේ ගෑස් අලෙවි නියෝජිතයකුගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ තම සමාගමෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් මේ දිනවල ලබා නොදෙන බවත්, ලබාදෙන ගෑස් තොග ලොරි රථයෙම තබා අලෙවි කරන බවත්ය.
ඊයේ (23 වැනිදා) හැටන් නගරයට බෙදාහැරීම සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 300 පමණ ලැබුණු බවත්, එය ඉල්ලුමට සරිලන සැපයුමක් නොවන බවත් ඔහු සඳහන් කළේය. පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ, මෙම තත්ත්වය නිසා ගෑස් අරපරිස්සමින් පරිහරණය කළ යුතු බවයි.
(Aruna)