Friday, November 06, 2026
Follow Us
නිපුණතා සංවර්ධන පද්ධතිය නවීකරණයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණය ආධාරයක්

ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන පද්ධතිය නවීකරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට අද (06) කොළඹ මහ භාණ්ඩාගාර පරිශ්‍රයේදී අත්සන් තැබිණි.

මෙම ණය ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් මහත්මිය විසින් අත්සන් තබන ලදී.

2027 සිට 2031 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන මඟින් ද්විතීයික අධ්‍යාපන මට්ටමේ නිපුණතා මාර්ග ශක්තිමත් කිරීම, රැකියා වෙළෙඳපොළට ගැළපෙන ගුණාත්මක වෘත්තීය පුහුණුව පුළුල් කිරීම සහ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ කර්මාන්ත හා පෞද්ගලික අංශයේ දායකත්වය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.

ඒ යටතේ දැනට පවතින මෝටර් රථ ඉංජිනේරු පුහුණු ආයතනය මෝටර් රථ තාක්ෂණය පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් බවට උසස් කිරීමටත් TVET මධ්‍යස්ථාන 09ක් කලාපීය මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමටත් සැලසුම් කර ඇත. තවත් පුහුණු මධ්‍යස්ථාන 40ක පහසුකම් සංවර්ධනය කිරීම තුළින් පුහුණුවේ ගුණාත්මකභාවය සහ ප්‍රවේශය පුළුල් කිරීමට ද පියවර ගැනේ.

රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ජාතික නිපුණතා ප්‍රමිතීන් 200ක්, විෂයමාලා සහ ඉගෙනුම් ක්‍රමවේද යාවත්කාලීන කිරීමට නියමිතය. නව නිපුණතා අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමුඛ වෘත්තීය ක්ෂේත්‍ර ආශ්‍රිත නව පාඨමාලා හඳුන්වාදීම, සේවාස්ථාන පදනම් කරගත් පුහුණුව සඳහා ප්‍රමිතීන් සකස් කිරීම සහ TVET ගුරුවරුන්ගේ වෘත්තීය හැකියාවන් සංවර්ධනය කිරීම ද වැඩසටහනට ඇතුළත් වේ.

ප්‍රතිපත්තිමය, මූල්‍ය හා ඩිජිටල් ප්‍රතිසංස්කරණ හරහා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අපේක්ෂිතය. පෞද්ගලික පුහුණු සැපයුම්කරුවන්ගේ සේවා පුළුල් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහාය ලබාදීමට ද මෙහිදී කටයුතු කෙරේ.

ඩිජිටල් පරිවර්තන වැඩපිළිවෙළ යටතේ ඊ-ඉගෙනුම් වේදිකාවක් සහ කම්කරු වෙළෙඳපොළ හා පාසල් කළමනාකරණ තොරතුරු පද්ධති සමඟ සම්බන්ධිත ඒකාබද්ධ පුහුණු කළමනාකරණ තොරතුරු පද්ධතියක් ද සංවර්ධනය කිරීමට නියමිතය. එමඟින් සිසුන්ට තම අනාගත වෘත්තීය මාර්ග තෝරාගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශන සේවා සැපයීමට ද පහසුකම් සැලසේ.