ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ නාවික මෙහෙයුමකදී රුපියල් බිලියන 4.2කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 189කට අධික තොගයක් අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ මෙම මෙහෙයුමේදී අදාළ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය, ධීවර යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර නීතිමය හා විමර්ශන කටයුතු සඳහා අද (05) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහාය ඇතිව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132යි ග්‍රෑම් 26ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 57යි ග්‍රෑම් 220ක් එහි තිබී සොයාගෙන තිබේ. ඒවා පිළිවෙළින් පාර්සල් 100ක සහ පාර්සල් 52ක අසුරා තිබී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.
මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සඳහා නාවික හමුදාව සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කරගනිමින් දින ගණනාවක් ගැඹුරු මුහුදේ සිදුකළ නිරීක්ෂණ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සාර්ථක කරගැනීමට හැකි වූ බව ද ඔහු පැවසීය.
තවද, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, සන්නද්ධ හමුදා, පොලීසිය සහ අනෙකුත් අදාළ ආයතන ඒකාබද්ධව දිවයිනේ ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීම් තීව්ර කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු 1818 හෝ 1997 යන ක්ෂණික දුරකථන අංක ඔස්සේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත ලබාදෙන ලෙස ද ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
මේ අතර, 2025 ඔක්තෝබර් මාසයේ සිට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කර ගත වූ වසරක කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුම්වලදී රුපියල් බිලියන 114කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම 2026 වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී පමණක් රුපියල් බිලියන 73කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව ද සඳහන් වේ.