Thursday, November 05, 2026
Follow Us
නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලයට නව දෙමහල් ගොඩනැගිල්ලක්  

රුපියල් මිලියන 78.34ක වියදමින් ඉදිකෙරෙන නව දෙමහල් තැපැල් පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල් තැබේ.

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමට සීමා නොවී, ජාතික උරුමය ආරක්ෂා කරමින් මෙරට සංචාරක කර්මාන්තයට නව වටිනාකමක් එක් කිරීමේ ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නුවරඑළිය තැපැල් කාර්යාල පරිශ්‍රයේ රුපියල් මිලියන 78.34ක ඇස්තමේන්තුගත වියදමින් ඉදිකෙරෙන නව දෙමහල් තැපැල් පරිපාලන ගොඩනැගිල්ල සඳහා අද (05) පස්වරුවේ මුල්ගල් තැබීමෙන් අනතුරුව අදහස් දක්වමිනි. මුල්ගල් තැබීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඓතිහාසික තැපැල් කාර්යාලයේ සංරක්ෂණ හා සංවර්ධන කටයුතු ද නිරීක්ෂණය කළේය.

නව ගොඩනැගිල්ල නුවරඑළිය ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය සහ තැපැල් මෙහෙයුම් අංශය පවත්වාගෙන යාම සඳහා ඉදිකෙරේ. එහි උපදේශන කටයුතු ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අතර, ඉදිකිරීම් කටයුතු තැපැල් දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි හා ඉඩම් අංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය මෙරට ගෘහ නිර්මාණ උරුමයේ සුවිශේෂී සලකුණකි. රතු ගඩොලින් නිමවා ඇති දෙමහල් ගොඩනැගිල්ල ඉංග්‍රීසි ටියුඩර් ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණවලින් සමන්විත වන අතර, එහි සුවිශේෂී ඔරලෝසු කුළුණ නුවරඑළිය නගරයේ අනන්‍යතාව නිරූපණය කරන සුවිශේෂී සලකුණක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදුකෙරෙන මෙම ඓතිහාසික ගොඩනැගිල්ලේ සංරක්ෂණ කටයුතු ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. එම කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව මෙම ගොඩනැගිල්ල දේශීය හා විදේශීය සංචාරකයන්ට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණීය ස්ථාන පිළිබඳ තොරතුරු සහ මඟපෙන්වීම් ලබාදෙන සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට සංචාරක කර්මාන්තය පුළුල් කිරීමේදී ස්වභාවික සම්පත් පමණක් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට ප්‍රමාණවත් නොවන බවයි. ගංගා, දියඇලි සහ සොබාදහමේ සුන්දරත්වය මෙන්ම මෙරට ඓතිහාසික, සංස්කෘතික හා ගෘහ නිර්මාණ උරුමයන් ද සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඵලදායී ලෙස යොදාගත යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ගාලු කොටුව වැනි ඓතිහාසික ස්ථාන මෙන්ම නුවරඑළිය තැපැල් කාර්යාලය ද ජාතික උරුමය සහ සංචාරක කර්මාන්තය එකිනෙක සම්බන්ධ කළ හැකි වටිනා සම්පත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

උත්සවයෙන් අනතුරුව නුවරඑළිය යුනික් වීව් ප්‍රදේශයේ ඉදිකෙරෙන දෙමහල් සංචාරක නිවාඩු නිකේතනයේ සහ දෙමහල් නිල නිවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. ඒ සඳහා පිළිවෙළින් රුපියල් මිලියන 199ක සහ රුපියල් මිලියන 106.5ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, 2025, 2026 සහ 2027 වසරවලදී අදියරගතව ප්‍රතිපාදන වෙන්කරමින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

2026 වසරේ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 400ක මුදලක් වෙන්කර ඇති අතර, මේ වන විට තැපැල් කාර්යාල හතක් සඳහා මුල්ගල් තබා තිබේ. නුවරඑළිය නව තැපැල් පරිපාලන ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමත් සමඟ එම වසරේ මුල්ගල් තබන ලද අටවැනි ගොඩනැගිල්ල බවට මෙය පත්වේ.

එමෙන්ම 2026 වසරේ තැපැල් කාර්යාල අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන්කර තිබේ. ඒ යටතේ ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාලයේ සංරක්ෂණ කටයුතු මෙන්ම දිවයින පුරා තැපැල් කාර්යාල 88ක අලුත්වැඩියා කටයුතු ද සිදුකෙරේ. 2025 වසරේදී ද මේ සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන්කර තිබූ අතර, එම ප්‍රතිපාදන යටතේ තැපැල් කාර්යාල සහ පරිපාලන කාර්යාල 200කට ආසන්න සංඛ්‍යාවක අලුත්වැඩියා කටයුතු සිදුකර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ තැපැල් කාර්යාල 23ක් සහ උප තැපැල් කාර්යාල 96ක් ක්‍රියාත්මක වන අතර, එම සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ජනතාවට අඛණ්ඩ තැපැල් සේවාවක් සැලසීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑළිය නගරාධිපති උපුලි වනිගසේකර, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව, නියෝජ්‍ය තැපැල්පති (මධ්‍යම පළාත) එම්.එච්.එම්. අස්ලම් මහතා, නුවරඑළිය ප්‍රාදේශීය තැපැල් අධිකාරී කීර්ති ධර්මදාස, සහකාර අධිකාරී (ගොඩනැගිලි හා ඉදිකිරීම්) චම්පික පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු තැපැල්, ගොඩනැගිලි හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවල නිලධාරීහු එක්ව සිටියහ.