Thursday, November 05, 2026
Follow Us
ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන් FinTech සංසදය (FinTech Forum Sri Lanka), වීසා (Visa) අනුග්‍රහය සහිතව සංවිධානය කරන ලද, ‘ශ්‍රී ලංකා FinTech Festival 2026’ සමුළුව රටේ ඩිජිටල් ප්‍රගතියේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සාර්ථකව අවසන් විය.


නොවැම්බර් 02 සහ 03 යන දිනවල කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවති මෙම සමුළුව සඳහා බැංකු, මූල්‍ය ආයතන, මූල්‍ය තාක්ෂණ සමාගම්, තාක්ෂණික සැපයුම්කරුවන්, රාජ්‍ය අංශය සහ ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම් නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ පාර්ශ්වකරුවන් රැසක් එක්ව සිටියහ. ‘ධාරිතාව ගොඩනැගීම, අවස්ථා නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය පරිමාණය කිරීම’ යන තේමාව යටතේ මෙම උළෙල ක්‍රියාත්මක විය.


දේශීය මූල්‍ය පරිසර පද්ධතිය කලාපීය සහ ජාත්‍යන්තර මූල්‍ය සංවර්ධනයන් සමඟ සම්බන්ධ කරන ශ්‍රී ලංකාවේ ශක්තිමත් ඩිජිටල් ගෙවීම් යටිතල පහසුකම් මෙහිදී විශේෂයෙන් ප්‍රදර්ශනය කෙරිණි. දේශසීමා හරහා සිදුකෙරෙන ගනුදෙනු සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, කලාපීය වෙළඳපල ප්‍රවේශය ඉහළ නැංවීම සහ ආසියාවේ නැඟීඑන ප්‍රධාන ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම අරමුණු කරගනිමින් මෙහිදී සැසිවාර කිහිපයක් ක්‍රියාත්මක විය.


නොවැම්බර් 03 වන දින පැවති ‘ශ්‍රී ලංකා FinTech Expo’ ප්‍රදර්ශන දිනය සඳහා  ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහභාගී වූ අතර, රජයේ ඩිජිටල් ආර්ථික දැක්ම පිළිබඳව එතුමා මෙහිදී විශේෂ දේශනයක් සිදු කළේය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා මූල්‍ය තාක්ෂණයේ අනාගතය පිළිබඳ මහ බැංකුවේ දැක්ම ඉදිරිපත් කළ අතර, PhonePe ජාත්‍යන්තර ගෙවීම් අංශයේ ප්‍රධාන විධායක නිලධාරී රිතේෂ් පායි (Ritesh Pai) මහතා විසින් මූල්‍ය තාක්ෂණයේ මීළඟ පරිණාමය පිළිබඳ ප්‍රධාන දේශනය පවත්වන ලදී.


මීට අමතරව, ඉන්දියාවේ ජාතික ගෙවීම් සංස්ථාවේ (NPCI) කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දිලීප් අස්බේ, GFTN හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සොප්නේදු මොහාන්ති ඇතුළු දේශීය හා ජාත්‍යන්තර ප්‍රවීණයන් රැසකගේ සහභාගීත්වයෙන් මූල්‍ය තාක්ෂණයේ අනාගතය, සයිබර් ආරක්ෂාව සහ වංචා වැළැක්වීම, තිරසාර මූල්‍ය තාක්ෂණය සහ ඩිජිටල් වත්කම් පිළිබඳ පුළුල් සාකච්ඡා සැසිවාර කිහිපයක් ද පවත්වන ලදී.