ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින උත්සන්න වෙමින් තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටම කළඹවන ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම් වන බව වාර්තා වේ. එය බොහෝ දේශාපලනඥයන්, වත්මන් ආණ්ඩුවේ සහ පැවති ආණ්ඩුවේ ප්‍රබලයන් කලබලයට පත් කරන ප්‍රකාශයක් වියහැකි බවයි දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන කතාබහ අනුව පැහැදිලි වන්නේ.
ලබන 16 වැනිදා මෙරට අටවැනි ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය තවත් සති කිහිපයකට පමණක් සීමා වේ. මීළඟ පාර්ලිමේන්තු දිනයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස සිටිමින් සිදු කරන සිය අවසන් පාර්ලිමේන්තු කතාව පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු දින දසුනට අනුව ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ නොවැම්බර් 07 වැනිදා පමණි. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කිරීමට ජනාධිපතිවරයා සූදානම් වන බවයි වාර්තා වන්නේ.
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී සිදු වූ බරපතල වංචා, දූෂණ, බලය අයුතු පරිහරණය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මෙන්ම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ද ජනාධිපතිවරයා සතුව පවතී. එම වාර්තා ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයා තවමත් කටයුතු කර නොමැත.
මෙම වාර්තා ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ඇත්තේ තවත් සති කිහිපයක කාලයකි.
මීට අමතරව එක්වරක් හෝ මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමේ වෑයම ජනාධිපතිවරයා විසින් තවමත් අත්හැර නොමැත. අධිකරණය විසින් මරණ දඬවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව වාරණයක් පනවා ඇති අතර ඔක්තෝබර් 30 වැනිදා එම වාරණය දිගු කරන්නේද යන්න තීරණය වනු ඇත. පසුගියදා පැවති රැස්වීමකදීද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ කෙසේ හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවයි.
(LNW)