Friday, November 29, 2024
Follow Us
ලොකු ලුණු වගාව නැවත නඟා සිටුවීමට කඩිනම් වැඩපිළිවෙළක්

ලොකු ලුණු වගාව නැවත නඟා සිටුවීම සඳහා කඩිනම් සුදුසු වගා වැඩ පිළිවෙළක් වහා අරඹන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ බෝග නායකයින්ට උපදෙස් ලබා දී තිබේ.


අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ පසුගියදා ගන්නෝරුව කෘෂිකර්ම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී ආහාර බෝග නායකයින් හා පැවති සාකච්ඡාවේදීය.
ලොකු ලූනු වගාව මේ වනවිට ඉතාමත් බරපතල ලෙස පහළ වැටී තිබේ. 2015 වනවිට මෙට්‍රික් ටොන් 84,737ක් වූ ලොකු ලූනු අස්වැන්න මේ වනවිට මෙට්‍රික් ටොන් 7321ක් දක්වා පහත වැටී තිබේ. මේ නිසා 2026 වන විට සමස්ත ලොකු ලූනු අවශ්‍යතාවයෙන් සියයට 40ක්වත් මෙරට වගා කිරීමට ඉලක්ක කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එළැඹෙන මහ කන්නයේ දී ආහාර බෝග 13ක් වගා කිරීමට ද සියලු සැලසුම් සකස් කර ඇති බව ආහාර බෝග නායකයෝ මෙම සාකච්ඡාවේදී පැහැදිලි කළහ.
ඒ සඳහා මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම ලේකම්වරු මෙන්ම පළාත් සියලුම කෘෂි බලධාරිහු ද සියලු දෙනා ඊයේ තම එකඟත්වය පළ කළහ.
වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, රතු ලූණු, ලොකු ලූණු, මුං ඇට, කව්පි, සෝ‌යා බෝංචි, කුරක්කන් , තළ, උඳු සහ රටකජු එම බෝග වර්ග 13 වේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වී ඇතුළු ආහාර බෝග 13ක් සඳහා බෝග නායකයින් පත් කර තිබේ.
මේ වනවිට අප රට වී සහ සහලින් ස්වයිංපෝෂිත තත්ත්වයට පත්ව තිබේ. ලබන මහ කන්නයේ වී අස්වනු නෙලා ගන්නා තෙක් අවශ්‍ය සහල් හා වී තොග රට තුළ පවතී.
එමනිසා නැවත සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. දත්ත හා තොරතුරු අනුව වාර්ෂික අවශ්‍යතාවය ඉක්මවන ලද සහල් තොගයක් රට තුළ පවතී.
මීට අමතරව මුං ඇට, උඳු, තල හා රටකජු මෙන්ම කුරක්කන් ද අවශ්‍ය තරම් තොග රට තුළ පවතී. ඒවා ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ද නොමැත.
එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබා දෙන උපදෙස් ගොවි ජනතාව අතරට යාමේ ගැටලුවක් පවතින නිසා හැකි තරම් එම තොරතුරු ගොවි ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.