Saturday, July 27, 2024
Follow Us
අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම්

ඉදිකිරීම් ආරම්භ කර අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පැවසීය.

ඉදිරි අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිත බවත්, එම මාර්ගවල ඉදිකිරීම් කඩිනමින් නිම කර ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා මෙසේද පැවසීය,

මම රාජ්‍ය අමාත්‍ය ධූරය භාර ගන්නා විට රටේ මහාමාර්ග ව්‍යාපෘති බොහෝමයක් අතරමග නැවතී තිබුණා. කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමේ අසීරූ තත්ත්වයක් මතුව තිබුණා. මේ සඳහා කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් බිලියන 180ක් පමණ ගෙවිය යුතුව තිබෙනවා.

එසේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ මුදලින් රුපියල් බිලියන 151ක් දැනටමත් ගෙවා අවසන් කර තිබෙනවා. තවත් රුපියල් මිලියන 29ක් පමණ ගෙවීමට තිබෙනවා. හිඟ මුදල් ලබාදීම හේතුවෙන් ඇතැම් කොන්ත්‍රාත්කරුවන් නැවතත් ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා.

රටේ මාර්ග සංවර්ධනයේදී ප්‍රමුඛතාවය ලබා දී තිබෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහායි. මේ අනුව ‘ඒ’ සහ ‘බී’ ශ්‍රේණියේ මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නඩත්තු කරනවා. දිවයින පුරා පිහිටි කිලෝමීටර් 12,225ක මාර්ග ප්‍රමාණයක් සහ කිලෝමීටර් 312කින් සමන්විත අධිවේගී මාර්ග, පාලම් 5432ක් ගුවන් පාලම් 12ක්, බෝට්ටු සහ පාලම් පාරු 9ක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වාර්ෂිකව නඩත්තු කරනු ලබනවා.

අද බොහෝ දෙනෙක් නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳ කතා කරනවා. මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට නම් රටේ මාර්ග පද්ධතිය ඉතා වැදගත් වෙනවා. ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීමේදීත් මාර්ග පද්ධතිය ඉතා වැදගත්. සැලසුම් සහගත ලෙස මාර්ග පුළුල් කිරීමට, වැඩිදියුණු කිරීමට අප කටයුතු කළයුතුයි. මාර්ග පුළුල් කිරීමේ කටයුතු සඳහා විදේශීය මුදල් යොදවන්න බැහැ. කුඩා පාලම්, මහාමාර්ග නඩත්තු කිරීමට වාර්ෂිකව විශාල මුදලක් වැය වෙනවා.

ඒ වගේම අධිවේගී මාර්ග රටක අවශ්‍යතාවයක්. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රටේ ඩොලර් ප්‍රශ්නය බලපෑවා. දැන් මීරිගම, කුරුණෑගල මාර්ගයේ වැඩ අවසන් කර තිබෙනවා. කිලෝමීටර් 31කින් සමන්විත පොතුහැර සිට ගලගෙදර දක්වා වූ මාර්ගයේ පළමු කිලෝමීටර් 13 වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙමින් පවතිනවා.

ඒ වගේම 2019 වසරේ ආරම්භ කළ වරාය පිවිසුම් ගුවන් මාර්ගය රටට ඉතා වැදගත් ව්‍යාපෘතියක්. නව කැලණි පාලමේ සිට ගාලු මුවදොර දක්වා වූ කුලුණු මතින් දිවෙන විශේෂිත මාර්ගය ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වෙනවා. කොළඹ කොටුව, වරාය වැනි කාර්ය බහුල ප්‍රදේශවල පවතින මාර්ග තදබදය අවම කර ගැනීමට මේ තුළින් හැකියාව ලැබෙනවා. වරාය පිවිසුම් ගුවන් මාර්ගය 2024 වසරේදී ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

එසේම කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතුවලින් 85%ක් මේ වන විට අවසන් කර තිබෙනවා. හංගේරියානු ණය ආධාර යටතේ ක්‍රියාත්මක පේරාදෙණිය ගුවන් පාලමේ වැඩකටයුතුවලිනුත් 35%ක් පමණ අවසන් වෙලා තිබෙනවා.

මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ මාර්ග 13,160ක වැඩ ආරම්භ කර තිබෙනවා. එම කිලෝ මීටර් ප්‍රමාණය 17,850ක්. එයින් මාර්ග 5201ක වැඩ එනම් මාර්ග කිලෝ මීටර් 6300ක වැඩ දැනටමත් අවසන්ව තිබෙනවා.

සමස්ත ව්‍යාපෘතිය වන කිලෝමීටර් 17,850ක් වූ මෙම මාර්ග ඉදිකිරීමට රජය රුපියල් බිලියන 231ක් ඇස්තමේන්තු කර තිබෙනවා. දැනට නිම කර තිබෙන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 160ක් ගෙවා තිබෙනවා. තවත් රුපියල් බිලියන 70ක් පමණ ගෙවීමට තිබෙනවා.

ඉදිරි අයවැයෙන් රටේ මාර්ග නඩත්තු කිරීමටත්, අතරමග වැඩ නතර වූ මාර්ග ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමටත් මුදල් වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ නිසා ඉදිරි කාලය තුළ ඒවායෙහි වැඩකටයුතු අවසන් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.