ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන 16 වන එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCTAD) සමාරම්භක උත්සවය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා ඊයේ (20) සහභාගී විය.
ඔක්තෝබර් මස 20 වන දා සිට 23 වනදා දක්වා පැවැත්වෙන මෙම සමුළුව, එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ ප්රධාන සමුළුව වන අතර, එහිදී වත්මන් ගෝලීය වෙළෙඳාම, මූල්ය, ආයෝජන, තාක්ෂණික ප්රවණතා සහ අභියෝග සාකච්ඡා කිරීම සඳහා සාමාජික රටවල් 195 ක රාජ්ය නායකයින්, වෙළෙඳ හා ආර්ථික අමාත්යවරුන්, ජාත්යන්තර සංවිධාන ප්රධානීන්, නොබෙල් ත්යාගලාභී ආර්ථික විද්යාඥයින්, සිවිල් සමාජ සංවිධාන, සංවර්ධන බැංකු, මූල්ය හා ගෝලීය වෙළෙඳ සංවිධාන වල නියෝජිතයින් සහභාගී වේ.
මෙය එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ ඉහළම තීරණ ගැනීමේ ආයතනය වන අතර, එහිදී සාමාජික රටවල් 195 ක වත්මන් වෙළෙඳ හා සංවර්ධන ගැටළු තක්සේරු කරමින් ඉදිරි වසර හතර සඳහා ගෝලීය ප්රතිපත්තීන් සකස් කරනු ලබයි.
‘‘Shaping the future” යන තේමාව සමඟින් එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුව මෙවර පැවැත්වෙන අතර මීට සමගාමීව පැවති G77 සහ චීන, අමාත්ය රැස්වීමට ද අමාත්යවරයා සහභාගී වූ අතර එහිදී අමාත්යවරයා,
“දේශගුණික බලපෑම් සහ ණය බරවල සිට ඩිජිටල් සහ ආර්ථික බෙදීම් දක්වා අප මුහුණ දෙන බහුවිධ අර්බුද ගෝලීය ආර්ථිකයේ ගැඹුරු අසමමිතීන් හෙළි කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවලට, විශේෂයෙන් ශ්රී ලංකාව වැනි කුඩා හා අවදානමට ලක්විය හැකි රටවලට, මෙම අභියෝග සඳහා හදිසි ප්රතිසංස්කරණ සහ සාමූහික විසඳුම් අවශ්ය වේ.
වෙළෙඳ හා සංවර්ධන උපාය මාර්ග හැඩගැස්වීමේදී සහ අපගේ ජාතික ප්රමුඛතා අනුගමනය කිරීමට අවශ්ය ප්රතිපත්ති අවකාශය ආරක්ෂා කිරීමේදී UNCTAD හි කේන්ද්රීය කාර්යභාරය අපි නැවත තහවුරු කරමු. UNCTAD හි විශ්ලේෂණාත්මක හා තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීම අත්යවශ්ය වේ.
සියලු රටවලට නැගී එන අවස්ථාවන්ගෙන් ප්රතිලාභ ලබා ගත හැකි බවත් ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟා ගත හැකි බවත් සහතික කිරීම සඳහා වැඩිදියුණු කළ සහයෝගීතාවයේ සහ තාක්ෂණ හුවමාරුවේ අවශ්යතාවය ද අපි ඉස්මතු කරමු.
වඩාත් සාධාරණ, තිරසාර ගෝලීය ආර්ථික පිළිවෙලක් කරා - සහයෝගීතාවයෙන් සහ බෙදාගත් අරමුණකින් - අපි එක්ව ඉදිරියට යමු.”
සඳහන් කරමින් ප්රකාශයක් නිකුත් කරන ලදි.
එම රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවෙහි සංවාදය ආරම්භ විය.
අමත්යවරයා ස්විට්සර්ලන්තයේ ජිනීවා හි දී තවත් ද්වීපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද එක් වීමට නියමිත අතර 16 වන එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුව (UNCTAD) එළඹෙන 23 වන දා දක්වා පැවැත්වීමට නියමිතය.