දිවයිනට වැඩම කළ මහාසංඝරත්නය ප්රමුඛ 86 දෙනෙකුගෙන් සමන්විත ඇමරිකානු බෞද්ධ දූත පිරිස ඔක්තෝබර් 19 වන දින අනුරාධපුර විහාරස්ථාන කිහිපයක සංචාරය කළහ.
ඒ අනුව මෙම දූත පිරිස ජය ශ්රී මහා බෝධිය, රුවන්වැලි සෑය ,ථූපාරාමය යන විහාරස්ථාන ඇතුළු ඓතිහාසික සිද්ධස්ථාන රැසක් වන්දනා කළ අතර පසුව ශ්රී ලංකා භික්ෂු විශ්වවිද්යාලයේ ශීෂ්ය භික්ෂූන් වහන්සේ 500 නමකට සිය අධ්යාපනයට අවශ්ය පරිත්යාගයන් ද සිදු කර තිබේ.
අටමස්ථානාධිපති,නුවර කලාවියේ ප්රධාන සංඝනායක ආචාර්ය පූජ්ය පල්ලේගම හේමරතන,රුවන්වැලි චෛත්යාරාමාධිකාරි,රජරට විශ්වවිද්යාලයේ කුලපති පූජ්ය ඊතල්වැටුණවැවේ ඥානතිලක යන හිමිවරුන් ඇතුළු අටමස්ථාන විහාරස්ථානවල හිමිවරුන් බැහැදැකීමට ද මෙම දූත පිරිසට අවස්ථාව උදා විය.
පසුගිය 17 වෙනිදා දිවයිනට පමිණි මෙම බෞද්ධ ධූත පිරිසට ඇමරිකා එක්සත් ජනපදයේ ජිවත්වන වියට්නාම ජාතික ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා හා දායකදායිකාවන් ඇතුළත්ය.
මෙම දූත පිරිසට නායකත්වය ලබා දෙන්නේ, ඇමරිකාවේ ටෙක්සාස්හි සෙන් ඇන්තෝනියෝ ලියන් හෝවා (Lien Hoa) බෞද්ධ විහාරයේ පූජ්ය THIEN ස්වාමින් වහන්සේය.
ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ සෙන් ඇන්තෝනියෝ බෞද්ධ විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්රපති පූජ්ය උඩුමුල්ලේ සරණපාල ස්වාමීන් වහන්සේගේ උපදෙස්, මඟපෙන්වීම සහ අනුශාසනා පරිදි එම බෞද්ධ දූත පිරිස ශ්රී ලංකාවේ සංචාරයක නිරත විය.