Friday, April 26, 2024
Follow Us
නව ප්‍රභේද පාලනය ගැන සෞඛ්‍ය ඇමතිගේ විශ්වාසය

ගෝලීය කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ කුමන අළුත් ප්‍රභේද පැමිණියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගතහැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා. ඇතැම් පිරිස් ඒ පිළිබඳ දුර්මත ගෙනගියද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඕනෑම තත්ත්වයකට මුහුණ දියහැකි ඉහළ ශක්තියක් පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ..

අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය රඹුක්වැල්ල මේ බව සඳහන් කර සිටියා.

නව ප්‍රභේදය සමඟ ලෝක සංඛ්‍යා ලේඛණ දෙස බලන විට යම් තිගැස්මකට ලක්වන බවත් එහෙත් මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව ඉහළ විශ්වාසයක් ජාත්‍යන්තර වශයෙන් පවා පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,

ඇතැමුන් රටෙහි සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන තත්ත්වයක පවතින බවට දුර්මත ගෙනයන බවද, එහෙත් එවැනි තත්ත්වයක් කිසිලෙසකින් ඇති නොවන්නට වගබලා ගන්නා බව පැවසූ අමාත්‍යවරයා විශේෂයෙන් රටෙහි සෞඛ්‍ය පද්ධතියට මේ උදෙසා හැකියාවක් පවතින බවත් එමෙන්ම එයට විශ්වාසයක්, ආත්ම ශක්තියක් පවතින්නේ පුහුණුව ලත් රටට අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් රට තුළ සිටීම මෙන්ම ඔවුන්ගේ ප්‍රශංසනීය කැපවීම නිසා බව සඳහන් කර සිටියා.

විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෑම දෙනාගේම ඉහළ කැපකිරීම ව්‍යසනය පාලනයට ලැබුණු ඉහළ ශක්තියක් බවත් නව ප්‍රභේදයේ හැසිරීම කෙසේ වෙතත් එන්නත් මගින් වෛරසයේ ව්‍යාප්තිය හා මරණ ප්‍රමාණය අඩු කරගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයවේදය රටතුළ ඉතා සාර්ථක වූ බවත් අවශ්‍ය තරම් ඇඳන්, ඔක්සිජන් නොමැති බවට ඇතැමුන් චෝදනා එල්ල කළත් රටෙහි පුරවැසියන්ට කිසිදු අවස්ථාවක අඩුපාඩුවක් නොවන අයුරින් රටේ සෞඛ්‍ය සේවාව උපරිමයෙන් ක්‍රියාවට නංවීමට හැකි බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

(Neth)