Friday, September 18, 2026
Follow Us
බන්ධනාගාරගත කාන්තා රැඳවියන්ගේ දරුවන්ටත් පෙර පාසල් අධ්‍යාපනය

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 05ට අඩු දරුවන් සඳහා විධිමත් පෙර පාසල් අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලයේ සභාපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඊයේ (18) රටම එකට මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම වැඩසටහන යටතේ සතියේ දින පහ පුරා අවම වශයෙන් පැය 03ක්, විධිමත් පෙර පාසල් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කර ඇති අතර, එය වැලිකඩ බන්ධනාගාරයේ සහ කළුතර බන්ධනාගාරවල මෙම වැඩසටහන් ආරම්භ කර තිබෙන බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත රොහාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

මව්වරුන් බන්ධනාගාරගතව සිටින තත්ත්වයක් තුළ දරුවන්ගේ අධ්‍යාපනය හා මුල් ළමා විය සංවර්ධනය අඩාල නොවීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැදගත්කමද ඒ මහතා මෙහිදී පැහැදිලි කළේය.