Friday, July 10, 2026
Follow Us
මඩකලපුව නගරයට පිවිසෙන දෙවැනි ප්රධාන පාලම වන නව පාලම පසුගිය 2026 ජුනි 28 වැනි දින ගිලා බැසීමෙන් අනතුරුව, ඒ වෙනුවට තාවකාලික බේලි පාලමක් ස්ථාපනය කිරීමේ කටයුතු ඊයේ(09) දින පෙරවරුවේ සාර්ථකව නිම කර ඇත.

ඒ අනුව, එම තාවකාලික බේලි පාලම අද (ජූලි 10) දින පෙරවරු 9.00 සිට ජනතා භාවිතය සඳහා ලබාදී ඇති අතර, මඩකලපුව නගරයට පිවිසෙන ගමනාගමනය යළි සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 3.5ක පමණ වියදමක් දරා මෙම තාවකාලික බේලි පාලම ස්ථාපනය කර ඇත.

කෙසේ වෙතත්, මෙම පාලම භාවිත කරන රියදුරන් සහ අනෙකුත් මාර්ග භාවිත කරන්නන්, පාලමට ප්රවේශ වීමට පෙර ස්ථාපනය කර ඇති මාර්ග සංඥා සහ උපදෙස් පිළිපදිමින් ඉතා ප්රවේශමෙන් ගමන් කරන ලෙස බලධාරීහු ඉල්ලා සිටිති.