දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමේ රැස්වීම පාර්ලිමේන්තුවේදී පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අඩෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා ගෞරවණීය ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.
මෙහිදී අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා ලේකම්වරයා ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අම්බිකා සාමිවෙල් මෙනවිය භාණ්ඩාගාරිකවරිය ලෙසත් තේරී පත් වූහ.
පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් යාන්ත්‍රණයක් වන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමටත් වටිනා වේදිකාවක් බවත් රැස්වීම අමතමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දීර්ඝකාලීන මිත්‍රශීලී සබඳතාව, අන්‍යෝන්‍ය ගෞරවය, මිත්‍රත්වය සහ සහයෝගීතාව මත ගොඩනැගී ඇති බව සඳහන් කළ කථානායකවරයා, මෙම මිත්‍රත්ව සංගමය දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය වැදගත්කමක් ඇති ක්ෂේත්‍රයන්හි නව සහයෝගීතා අවස්ථා විවෘත කරනු ඇතැයි විශ්වාස කරන බව පැවසීය.
මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු අඩෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා ද අදහස් දක්වමින් දේශපාලන, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන හා සංචාරක ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර දිගුකාලීනව පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවද සඳහන් කළේය.
එසේම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු අඩෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා අතර කථානායකවරයාගේ නිල කාර්යාලයේදී සුහද හමුවක් ද පැවැත්වුණු අතර, එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳවද අදහස් හුවමාරු කර ගනු ලැබීය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.