ශ්‍රී ලංකාවේ රැකවරණ සේවා ක්ෂේත්‍රය වඩාත් විධිමත්, වෘත්තීයමය සහ ගෞරවනීය වෘත්තීය ක්ෂේත්‍රයක් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන Caregiver – NVQ Level 03 සහතික පත්‍ර පාඨමාලාවේ පළමු පුහුණු කණ්ඩායමේ පුහුණුව කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේදී පසුගියදා (01) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (NILS) විසින් ක්‍රියාත්මක කරන මෙම පාඨමාලාව සඳහා අයදුම්පත් 600කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබූ අතර, ඒ අතරින් 30 දෙනෙකු පළමු පුහුණු කණ්ඩායම සඳහා තෝරාගෙන ඇත. පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීම විශේෂත්වයකි.
Caregiver – NVQ Level 03 පාඨමාලාව සඳහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබාදීමට ස්ථාපිත කළ පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම ද කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.
ආරම්භක අවස්ථාව අමතමින් කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ, රැකවරණ සේවාව හුදෙක් පුද්ගලයෙකු රැකබලා ගැනීමට සීමා වූ කාර්යයක් ලෙස නොව, නිසි වෘත්තීය ප්‍රමිතීන්, සුදුසුකම්, දැනුම, කුසලතා සහ ආකල්ප අවශ්‍ය වන පිළිගත් වෘත්තියක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවයි. මෙරට රෝගීන්, වැඩිහිටියන්, දරුවන් සහ විශේෂ රැකවරණයක් අවශ්‍ය පුද්ගලයන් රැකබලා ගැනීමේ වගකීම සාම්ප්‍රදායිකව බොහෝවිට කාන්තාවන් මත පැවරී තිබුණද, එම කාර්යය සඳහා නිසි පුහුණුවක් සහ වෘත්තීය නිපුණතාවක් අත්‍යවශ්‍ය බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.
රැකවරණය ලබන පුද්ගලයාගේ පෞරුෂය, හැඟීම්, ආත්ම අභිමානය සහ මානව ගෞරවය ආරක්ෂා කරමින් සේවාව ලබාදීමට රැකවරණ සේවකයාට හැකියාව තිබිය යුතු බව සඳහන් කළ ඒ මහතා, සෞඛ්‍යය පිළිබඳ මූලික අවබෝධය, ප්‍රථමාධාර ලබාදීමේ හැකියාව, රැකවරණයට අදාළ උපකරණ නිවැරදිව භාවිත කිරීම සහ පුද්ගලයන්ගේ මානසික හා චිත්තවේගීය අවශ්‍යතා හඳුනාගෙන සංවේදීව කටයුතු කිරීම වැනි කුසලතා මෙම වෘත්තියට අත්‍යවශ්‍ය බවද සඳහන් කළේය. රැකවරණ සේවා ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා පුළුල් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යමින් සිටින බවත්, ඒ යටතේ වෘත්තීය සුදුසුකම් හා පුහුණු වැඩසටහන් හඳුන්වාදීම, සේවා ප්‍රමිතීන් ස්ථාපිත කිරීම සහ අවශ්‍ය ආයතනික හා නියාමන රාමුවක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් ලේකම්වරයා පැවසීය. එමෙන්ම රැකවරණ සේවාව පිළිගත් වෘත්තියක් බවට පත් කිරීමත් සමඟ එහි නිරතවන්නන්ට වෘත්තීය ගෞරවය හා නිසි පිළිගැනීම මෙන්ම ඔවුන්ගේ සුදුසුකම් හා කුසලතාවලට අනුරූප සාධාරණ වැටුපක් හිමිවිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.
මෙම ක්ෂේත්‍රයට නිසි වෘත්තීය පිළිගැනීමක් ලබාදීම තුළින් තරුණ තරුණියන් අභිමානයෙන් තෝරාගන්නා වෘත්තීය ක්ෂේත්‍රයක් බවට රැකවරණ සේවාව පත් කිරීමටත්, නව රැකියා අවස්ථා සඳහා තරුණ පරපුර ආකර්ෂණය කරගැනීමටත් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පුහුණු වැඩසටහන එම දිගුකාලීන වැඩපිළිවෙළේ වැදගත් ආරම්භක පියවරක් බව පෙන්වා දුන් ලේකම්වරයා, පාඨමාලාවට සහභාගී වන පුහුණුලාභීන්ට ලැබී ඇති මෙම වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන අවශ්‍ය වෘත්තීය දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරගනිමින් මෙරට රැකවරණ සේවා ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට දායක වන ලෙසද ඉල්ලා සිටියේය. මෙම වැඩපිළිවෙළ කම්කරු, සෞඛ්‍ය, සමාජ සවිබලගැන්වීමේ සහ, කාන්තා හා ළමා කටයුතු යන අමාත්‍යාංශවල සහයෝගය ඇතිව ඉදිරියට ගෙන යන පුළුල් වැඩපිළිවෙළක කොටසකි.
මෙම අවස්ථාවට කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ඇතුළු කම්කරු අමාත්‍යාංශයේ, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ සහ අදාළ ආයතනවල නිලධාරීහු රැසක් එක්ව සිටියහ.