Thursday, July 09, 2026
Follow Us
විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නව පනතක් - ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ  - අමාත්‍ය විජිත හේරත්

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් හා සුරක්ෂිතතාවය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් නව විදේශ රැකියා පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කළේ, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කරමින් පවතින අතර, ඔවුන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමේ මූලික කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.

එමෙන්ම ලෝකයේ ඕනෑම ස්ථානයක සිට තම ගැටලු ඉදිරිපත් කළ හැකි "Lanka Konnect" වෙබ් අඩවිය සහ ජංගම දුරකථන යෙදුම හඳුන්වාදී ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.

විදේශ රැකියා ඒජන්සි සම්බන්ධ ජාවාරම් සහ අල්ලස් ලබාගැනීම් සම්පූර්ණයෙන්ම නතර කිරීමට CID නිලධාරීන් ද ඇතුළත් විශේෂ විමර්ශන ඒකකයක් මඟින් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කර ඇති බවද ඔහු අවධාරණය කළේය.

විදේශගතව සිටියදී මියයන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් සඳහා ලබාදෙන වන්දි මුදල පෙර පැවති රුපියල් ලක්ෂ 6 සිට රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ ආර්ථිකය පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රජය බලයට පත්වූ පළමු වසර තුළ ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 8ක් රටට ලැබී ඇති බවත් 2026 වසරේ ගතවූ මාස හය තුළ පමණක් ඩොලර් බිලියන 4.75ක විදේශ ප්‍රේෂණ ලැබී ඇති බවත්ය.

උතුරු පළාතේ තරුණ තරුණියන් වෙනුවෙන් නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ද කඩිනමින් ස්ථාපිත කරන අමාත්‍යවරයා පැවසීය.

නව රැකියා වෙළඳපොළ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ , ජපානය සමඟ ඇතිකරගත් නව ගිවිසුම් මඟින් ට්‍රක් රථ රියදුරන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන් සහ උපාධිධාරීන් සඳහා නව රැකියා අවස්ථා විවෘත කර ඇති බවයි. ඉතාලියේ සාමාන්‍ය රියදුරු බලපත්‍ර සම්බන්ධ ගැටලුව ද විසඳා ඇති බවත් ඊශ්‍රායල රැකියා සඳහා පුද්ගලික අංශයට අය කළ හැක්කේ උපරිම වශයෙන් මාසික වැටුප මෙන් දෙගුණයක් පමණක් බවත් ඔහු පැවසීය.

එමෙන්ම රුපියල් ලක්ෂ 40ත් 45ත් අතර මුදල් ඉල්ලා ජනතාව රවටන ජාවාරම්කරුවන්ට මුදල් නොගෙවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම , විදේශගත ශ්‍රමිකයන් රටේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගය කරන අතර ඔවුන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ ගෞරවය සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බවද අවධාරණය කළේය.