2030 වන විට නිමි තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ අරමුණින් වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය මගින් ක්රියාත්මක කරනු ලබන “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) හෙවත් පොකුරු තේ ගම්මාන 500ක් ඇති කිරිමේ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්ය සාකච්ඡාවක් වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (09) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදි පැවැත්විණි.
මෙම වැඩසටහන වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශයට අනුබද්ධිත කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්රී ලංකා තේ පර්යේෂණ ආයතනය, ශ්රී ලංකා තේ මණ්ඩලය සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ඇතුළු ආයතනවල මූලිකත්වයෙන් ක්රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන මගින් කුඩා තේවතු ගොවීන්ගේ දළු අස්වැන්න ඉහළ නැංවීම, ඔවුන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කිරීම, අගය එකතු කළ තේ නිෂ්පාදන හඳුන්වාදීම, තේ කර්මාන්තය සංචාරක ව්යාපාරය සමඟ ඒකාබද්ධ කිරීම, නවීන හා තිරසාර වගා ක්රම හඳුන්වාදීම, හඳුනාගත් තේ ගම්මාන ආශ්රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ තේ නිෂ්පාදන සමූපකාර සමිති පිහිටුවීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරෙන අතර මෙමගින් කුඩා තේවතු ගොවීන්ට මෙන්ම තේ කර්මාන්තය ආශ්රිත සියලු පාර්ශ්වකරුවන්ට ප්රතිලාභ සැලසීමත්, 2030 වසර වනවිට අපේක්ෂා කරන ජාතික ඉලක්ක සපුරා ගැනීමට දායක වීමත් මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු වේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්යවරයා කියා සිටියේ, ලෝකයම හඳුනන රසයක් ඇති සිලෝන් ටී හරහා මේ රටේ ආර්ථිකය ශක්තිමත් වූ බවත්, මෙම සිලෝන් ටී විලේජ් නම්වු තේ ගම්මාන 500 හරහා තේ නිෂ්පාදනය ඉහළ නැංවීමත් අපනයන ආදායම ඩොලර් බිලියනයකින් ඉහළ නංවා මෙරට තේ ගොවියාත් තේ කර්මාන්තකරුවත්, රටේ සමස්ථ ආර්ථිකයත් ශක්තිමත් කිරිමට කටයුතු කරන බවයි.
මෙරට සමස්ථ තේ නිෂ්පාදනයෙන් 95%ක් අපනයනය කරන බවත්, දේශියව පරිභෝජනය කරන්නේ 5%ක් වැනි ප්රමාණයක් බවත් සඳහන් කළ අමාත්යවරයා මෙම තේ ගම්මාන 500 හරහා ගුණාත්මක තේ නිෂ්පාදනයක් සිදුකොට ලෝක වෙළෙඳපළෙහි මෙරට තේවලට ඇති ඉල්ලුම ඉහළ දමමින් ඉහළ ආදායමක් ලබා ගැනිම මෙම වැඩසටහනේ අරමුණක් බවත් සඳහන් කළේය.
අදවන විට කුඩා තේ වතු හිමියන් සමස්ත තේ වගාවෙන් 75%ක් නිෂ්පාදනය කරන බවත් ඉදිරියේදි එම කුඩා තේ වතු ගොවින්ගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට තේ වගාව ආශ්රිතව වෙනත් අතුරු ආදායම් මාර්ග ස්ථාපිත කරගැනිමට හැකි ක්රමවේදවලට අවතීර්ණ වන බවත් අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම තේ ගම්මාන වැඩසටහන යටතේ 2026 වසර තුළ තේ ගම්මාන 144ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එම ගම්මාන තෝරා ගැනීමේදී කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවූ අතර, තේ පර්යේෂණ ආයතනය සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් නියමිත විද්යාත්මක හා තාක්ෂණික ක්රමවේදයන්ට අනුව එම තෝරාගැනීම් සිදුකර ඇති බවත් අමාත්යවරයා මෙහිදී පැවසීය.
ඒ අනුව “Ceylon Tea Village” වැඩසටහනේ සමාරම්භක අවස්ථාව 2026 ජූලි මස 15 වැනි දින නුවරඑළිය දිස්ත්රික්කයේ කොත්මලේ ප්රදේශයේ හල්ගොල්ල හපුගස්තලාවේදි පැවැත්වීමට නියමිත අතර , දිස්ත්රික්ක 11ක් ආවරණය වන පරිදි මූලික අදියරේ තේ ගම්මාන 144ක වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.