අනුරාධපුර නගරයේ වසර කිහිපයක සිට ප්‍රමාදව පවතින උතුරු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙහි සහ දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙහි වැඩ කටයුතු ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා උතුරු මැද පළාත් සභා ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී දැනට රුපියල් මිලියන ගණනක් අපතේ යවමින් ඉදි කරමින් පවතින නව බස් නැවතුම්පළ පර්යන්තයේ පිහිටා ඇති දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කඩිනම් කර අවසන් කිරීමටත්, තවත් ප්‍රතිපාදන අවශ්‍ය නම් ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර එම කටයුතු සිදු කිරීමටත් අවධානය යොමු වූ අතර ඒ සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමටත්, හැකි තරම් වියදම් අවම කරමින් අනුරාධපුර ජනතාවට වඩාත් පහසු ක්‍රමවේදයන් තුළ හිඳිමින් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට කටයුතු කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දුනි.
එසේම දැනට වත්මන් රජය පත්වීමත් සමඟ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දීමේ අරමුණින් ආරම්භ කිරීමට නියමිත උතුරු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අනුරාධපුර මාකට් පෙදෙස කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කෙරෙහිද අවධානය යොමු වූ අතර ප්‍රදේශයේ අදාල ඉඩම් වෙන් කර ගැනීම, ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා අවශ්‍ය කරනු ලබන මාර්ගෝපදේශ ලබා දීමත්, දැනට මෙම වසරට වෙන් වී ඇති ප්‍රතිපාදන අවිච්ඡේද වීමට නොදී මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කරන ලෙසටත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
මෙවැනි ස්ථාන නිර්මාණය කිරීමේ දී පළාතේ සංවර්ධනය කඩිනම් කිරීම සඳහා පළාත් සභාව යටතේ පවතින ආයතන වල නිලධාරීන් කාර්යක්ෂමව අදාල කටයුතු සඳහා සහාය දිය යුතු බවත්, අනුරාධපුර නගරය විධිමත් සංවර්ධනයක් කිරීමේ දී නගරයට අවහිරයක් වන ගොඩනැගිලි පිළිබඳ සෘජුව අවධානය යොමු කර කඩිනමින් ඒ අයට අදාල වන්දි ගෙවීම් සිදු කර ඒවා වෙනත් ස්ථාන වලට විතැන් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස පළාත් ආණ්ඩුකාරතුමන් ද අදහස් දක්වමින් පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා, මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න මහතා, සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, පළාත් ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන්, පළාත් සැලසුම් දෙපාර්තමේන්තු නිලධාරීන්, පළාත් ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඇතුලු පිරිසක් එක්විය.