Friday, February 21, 2025
Follow Us
රාජ්‍ය ආයතනවලට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

පසු ගිය කාල වකවානුව පුරා බලපෑ විවිධ හේතු නිසාවෙන් උද්ගතව තිබූ දීර්ඝ කාලීන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදයට විසඳුම් ලෙස ආගමන හා විගමන දෙපාර්තුමේන්තු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය පැය 24 පුරා විවෘත කිරීමට තීරණය කර ඇත.

මේ අනුව 2025.02.18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ රාජකාරි දිනයන් තුළ පැය 24 පුරා ආගමන හා විගමන දෙපාර්තුමේන්තු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මහජනතාව වෙනුවෙන් සේවා සම්පාදනය සඳහා විවෘතව පවතී.

එමෙන්ම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගියදා (18) රාත්‍රිය පුරා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ සියලු අංශ නිරීක්ෂණය කරමින් සේවා සපයන නිලධාරීන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට අවශ්‍ය උපදෙස් ද ලබා දී තිබේ.


මේ අතර මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ මින් ඉදිරියේදී විදෙස් ගමන් බලපත්‍ර හිඟයකින් තොරව නිකුත් කිරීමේ හැකියාව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි. විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන අයදුම්කරුවන් විසින් රැගෙන ආ යුතු ලෙසට දක්වා ඇති සියලු ලේඛනයන් සියල්ල නිසි පිළිවෙලට රැගෙන එන ලෙසත් එම අමාත්‍යාංශය සඳහන් කරයි .

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේදී ඉදිරිපත් කළ යුතු ලේඛනයන්හි යම් දෝෂ සහගත තත්ත්වයක් හෝ අපැහැදිලිතාවයක් නිරීක්ෂණය වන්නේ නම් එවැනි අයදුම්කරුවන් එම ලේඛන ලබාගත හැකි අනෙකුත් ආයතන විවෘතව පවතින දිවා කාලයන්හිදී එම සේවා ලබාගෙන විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට ආගමන හා විගමන දෙපාර්තුමේන්තු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මෙම නව වැඩපිළිවෙළත් සමඟ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි සේවාලාභීන්ගේ දිගු පෝලිම් වල සැලකියයුතු අඩු වීමක් නිරීක්ෂණය වූ බව ද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි