දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා - කොරියානු ජනරජ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා (18) තේරී පත් විය.
ශ්‍රී ලංකා - කොරියානු ජනරජ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති ගරු මියන් ලී (Miyon Lee) මහත්මිය මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී විය. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මේ අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය ශ්‍රී ලංකා - කොරියානු ජනරජ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූවාය.
රැස්ව සිටි පිරිස අමතමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ මෙම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීමෙන් ශ්‍රී ලංකාව, කොරියානු ජනරජය සමඟ ඇති ශක්තිමත් සම්බන්ධතාවල අලුත් පරිච්ඡේදයක් ආරම්භ වන බවයි. උසස් තත්ත්වයේ ඇඟලුම්, ශ්‍රී ලංකාවේ තේ, කුරුඳු සහ මැණික් වැනි මෙරට ප්‍රධාන අපනයන ඇතුළු වෙළඳ සබඳතා හරහා කොරියාව වටිනා ආර්ථික හවුල්කරුවෙකු වී ඇති බව ඔහු සඳහන් කළේය. මෙම මිත්‍රත්ව සංගමය දෙරට අතර පවතින මෙකී සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි කථානායකවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිවරිය, නව නිලධාරී මණ්ඩලයට සුබපැතුම් එක්කළ අතර, දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීමේදී මිත්‍රත්ව සංගමය ඉටු කර ඇති වැදගත් කාර්යභාරය ඇගයීමට ලක්කළාය. එසේම නව සංගමය සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඇය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා - කොරියානු ජනරජ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සිය අදහස් දැක්වීමේදී, මෙම සංගමයට නායකත්වය ලබාදීමට අවස්ථාව ලැබීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. අන්‍යෝන්‍ය අවබෝධය, සාමය ප්‍රවර්ධනය කිරීම මෙන්ම දෙරටේම ප්‍රගතිය වෙනුවෙන් පොදු ඉලක්ක සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ඔහු අවධාරණය කළේය. එසේම සංගමයේ අරමුණු කරා යාම සඳහා තානාපතිවරියගේ සහයෝගය ද අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
රැස්වීමේ ස්තූති කතාව පවත්වමින් සංගමයේ ලේකම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය, සංගමයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සියලුම සාමාජිකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බව සඳහන් කළාය.