Friday, February 21, 2025
Follow Us
ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගයට වැයකළ මුදල ගැන කෝප් කමිටුවේදී හෙළිදරව්වක්

ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී ඇතැයි, පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම චෙක්පත් සඳහා හිටපු සභාපතිවරයා අත්සන් කොට ඇත්තේ මෙම ගෙවීම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතියකින් තොරව, නිලධාරීන්ට බලපෑම් කරමින් 2024 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයට පෙර දින බවත් මෙහිදී හෙළි විය. මේ අනුව කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමේදී නිලධාරීන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් පමණ ලැබුණු බවත් එවකට හිටපු සභාපතිවරයාගේ බලපෑම මත මෙම වියදම් සහතික කොට චෙක්පත් නිකුත් කිරීමට සිදු වූ බවත්ය. තරුණ සේවා සභාවේ ගණන් දීමේ නිලධාරීයා ලෙස හිටපු සභාපතිවරයා නිර්දේශ කිරීමෙන් පසු එය කිරීමට සිදු වූ බවත් එසේ නොකළේ නම් තමන් ස්ථාන මාරු කිරීම් වලට ලක් කරන බවත් මෙහිදී නිලධාරීහු ප්‍රකාශ කළහ. මේ අනුව ජනාධිපතිවරණයට පෙර දින සවස රු. මිලියන 188 පමණ චෙක්පත් නිකුත් කිරීමට සිදු වූ බවත් මෙහිදී නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

එසේම ගැටලු සහගත තත්ත්වයන් රැසක් පැහැදිලි වන බැවින් ජාතික තරුණසේවා සභාව, ශ්‍රී ලංකා යූත් සර්විසස් (පුද්ගලික) සමාගම සහ ජාතික තරුණ සේවා සමූපකාර සමිතියේ අවශ්‍යතාවය සහ අනෙකුත් සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් කෝප් කාරක සභාවට ලබාදීමට මෙහිදි නිර්දේශ කරන ලදි.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම් මහතා, සමන්මලී ගුණසිංහ, කෝසල නුවන් ජයවීර, සුජීව දිසානායක, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.